Thursday, December 23, 2021

හේකිත්ත ක්‍රිස්තුරාජ විදුහලේ ඉඩම් සිංහ සමාජය කොල්ලකාලා!


වත්තල හේකිත්ත ක්‍රිස්තුරාජ විදුහලේ ඉඩම හා ගොඩනැගිලි නිදහස් කරගැනීමට පෙළ ගැසෙමු! 

වත්තල හේකිත්ත ක්‍රිස්තුරාජ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයට අයත් ඉඩම හා ගොඩනැගිලි සිංහ සමාජය විසින් බලහත්කාරීව අත්පත් කරගෙන තිබේ. එම සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය පර්චස් 94.3කි. පාසලට ඉතිරි වී ඇති ඉඩම ප්‍රමාණයෙන් පර්චස් 16ක් පමණි. හේකිත්ත, අල්විස්වත්ත, පල්ලියවත්ත, ලංසියවත්ත, කුරුඳුහේන, ඇතුළු ගම් ප්‍රදේශ ගණනාවකට අයත් දරුවන් 300 කට ආසන්න ප්‍රමාණයක් පාසලේ ඉගෙනුම ලබයි. 

වසර දහයක් තිස්සේ පාසලේ ගුරුවරුන් දෙමව්පියන්, ආදි ශිෂ්‍යයින් සහ ප්‍රදේශවාසීන් පාසලට අයත් ගොඩනැගිලි හා ඉඩම නැවත ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් සිංහ සමාජය එයට ඇහුම්කම් දෙන්නේ නැත. ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් පාසලේ ⁣දේපල තමන්ට පවරාගැනීමේ උත්සාහයක ඔවුන් නිරත වෙයි. 

මේ පිළිබඳව පාසල විසින් නඩුවක් ගොනු කළ අතර එහිදී ද නැවත ඉඩම් සහ ගොඩනැගිලි පාසලට ලබා දිය යුතු බව තීන්දු කෙරිණි. නඩු තීන්දුවක් තිබියදීත් සිංහ සමාජය විසින් පාසලේ ඉඩම් තවදුරටත් සිය සන්තකයේ තබාගෙන සිටියි. මෙයට එරෙහිව දෙසැම්බර් 21 දින දෙමව්පියන් විසින් උද්ඝෝෂණයක් ද පැවැත්වූ අතර ආරංචි මාර්ග අනුව තමන්ට අයත් ඉඩමකට බලහත්කාරීව ඇතුළත් වූ බව කියමින් සිංහ සමාජය වත්තල පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.

දෙමාපියන්, ගුරුවරුන් හා ප්‍රදේශවාසීන් ගෙන යන අරගලයට නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරයේ සහයෝගය ද හිමිව තිබේ.



විකුණන ඉඩම් මොනවද? භික්ෂු අන්තරේ නාගරික සංවර්ධන අධිකාරියට



විකුණන ඉඩම් ගැන තොරතුරු ඉල්ලා භික්ෂු අන්තරේ නාගරික සංවර්ධන අධිකාරියට !

දේශීය හා විදේශීය ආයෝජකයන්ට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් හා ගොඩනැගිලි 50 ක් ලබාදීමට සූදානම් බව නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලදී. එම ඉඩම් සහ ගොඩනැගිලි පිළිබඳව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබාගැනීම සඳහා ලිපියක් භාර දීමට අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් අද නාගරික සංවර්ධන අධිකාරිය වෙත යන ලදී. 

වසංගතය හේතුවෙන් ආර්ථික අර්බූදයක් ඇති වී ඇති බවත්, විදෙස් සංචිත හිඟ බවත් කියමින් ආණ්ඩුව ජනතාව සතු දේපල එකින් එක විදෙස් සමාගම්වලට විකුණමින් සිටියි. සෙලෙන්දිවා වැන් වැඩසටහන් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන්නේ එම අරමුණ සහිතවය. ආර්ථික වශයෙන් සහ ඓතිහාසිකව වැදගත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් කට්ටි ගණනාවක් සහ ගොඩනැගිලි ගණනාවක් මෙලෙස විදෙස් සමාගම්වලට විකිණීමට ආණ්ඩුව සැරසෙමින් සිටියි. 






පය බරවායට පිටි කර බෙහෙත් බැඳීම හෙවත් පෞද්ගලික විශ්වවිද්‍යාල (ලංකාදීප කතුවැකියට අන්තරෙන් පිළිතුරක්)


2021.12.13 දින ‘පෞද්ගලික සරසවි ජාතික අපරාධයක්ද?’ මැයෙන් පල කළ ලිපියට ලංකාදීප පුවත්පත වෙත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් යොමු කරන ලද පිළිතුරු ලිපියකි.

පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම හෙවත් පෞද්ගලික විශ්වවිද්‍යාල

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 වසරට අදාළ උපාධි ප්‍රධානෝත්සව අවස්ථාව ආමන්ත්‍රණය කළ ජනාධිපතිවරයා අධ්‍යාපනය පෞද්ගලික අංශයට විවෘත කළ යුතු බව අවධාරණය කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරන ලදී. එම කරුණු අනුමත කරමින් දෙසැම්බර් 13 දින ලංකාදීප පුවත්පතේ කතුවැකියද පල කර තිබිණි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හා ලංකාදීප කතුවැකිය තුළින් අධ්‍යාපන පෞද්ගලිකකරණයට පක්ෂව ඉදිරිපත් කරන ලද කරුණු සාරාංශයක් ලෙස පහත අංකනය කරමු.

1. පෞද්ගලිකකරණය අධ්‍යාපනය පිළිබඳ ලෝක සම්මත නවතම ප්‍රවනතාවයි. අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහි වීම යල්පැන ගිය දේශපාලන මතයකි.

2. ආර්ථික අපහසුකම් ඇති සිසුන්ට ඉගෙනගැනීමට රාජ්‍ය සරසවි තිබෙනවා සේම මුදල් වියදම් කළ හැකි අයට මුදල් ගෙවා ඉගෙනගැනීමට පෞද්ගලික විශ්වවිද්‍යාල ද තිබිය යුතුය.

3. ගතවන මොහොත තුළ ගැඹුරු ආර්ථික අර්බූදයකට හා විදෙස් විනිමය හිඟයකට රට මුහුණ දී සිටියි. අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන් විදෙස් ගතවීම නිසා වාර්ෂිකව සැලකිය යුතු මුදලක් රටට අහිමි වෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල තිබුණේ නම් එම මුදල් ඉතිරි කරගත හැකි අතරම විශාල විදෙස් විනිමයක් ඉපයීම ද  කළ හැකි වේ.

4. වාර්ෂිකව උසස්පෙළ විභාගය සමත්වන පිරිස අතුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ ඉතා සුළු ශිෂ්‍ය සංඛ්‍යාවකි. සරසවි වරම් නොලබන අනෙක් සිසුන්ට උසස් අධ්‍යාපනය ලැබීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිවිය යුතුය.

5. පෞද්ගලික අධ්‍යාපනයට එරෙහි වීම ජාතික අපරාධයකි. අධ්‍යාපනය පෞද්ගලකිකකරණයට එරෙහි වන්නන් අපරාධකරුවන් සේ සැලකිය යුතුය.

පෞද්ගලික අංශය මැදිහත් වූ කිසිඳු සේවාවක්, භාණ්ඩයක් සමාජයට යහපතක් කළ බවට ලංකාවේ වෙසෙන අපට නම් කිසිම ආකාරයක අත්දැකීමක් නැත. එයට උදාහරණ ගතවන මේ මොහොතෙන් ගත හැකිය. මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය වන සහල් නිශ්පාදනය සම්පූර්ණයෙන්ම පාහේ රඳා පවතින්නේ පෞද්ගලික ව්‍යවසායකයින් තිදෙනෙක් අතය. අද සහල් කිලෝව අළෙවි කෙරෙන්නේ රු.140 ක් 150 ක් පමණ ඉතා වැඩි මුදලකටය. ජනතාව තවදුරටත් බත් කනවාද නැද්ද යන්න තීරණය කිරීමේ ඒකාධිකාර බලය පුද්ගලයින් තිදෙනෙක් විසින් හොබවමින් සිටියි. පුද්ගලික අංශය හොඳයි කියමින් ආවඩන්නන්ට කන බත් පතෙන්ම එහි සැබෑ ස්වරූපය වටහාගත හැකිය. 1977 න් පසු ප්‍රවාහනය පෞද්ගලිකකරණය කරමින් පාලකයින් පැවසුවේ එමගින් ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙන්ම මිල පහත හෙලීමද කළ හැකිවනු ඇති බවයි. ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳව පොල් පැටෙව්වා සේ මගීන් පටවාගෙන රේස් පදින පුද්ගලික බස්රථවල ගමන් ගන්නා අය සාක්ෂි දරනවා ඇත. අවුරුද්දකට කිහිප වතාවක් ගාස්තු ඉහළ දැමීම පෞද්ගලික බස් හිමියන්ගේ උවමනාව අනුව සිදු කරන්නකි. ගෑස් සමාගම් දෙකක ලාභය වෙනුවෙන් මේ ගතවන මොහොතේත් ජනතාවට සිය නිවෙස්වල බියෙන් ත්‍රස්තව ජීවත් වීමට සිදුව ඇත. ගෑස් ටැංකිවල ප්‍රොපේන්, බියුටේන් සංයුතිය සමාගම් හිතුමනාපෙට වෙනස් කිරීම හේතුවෙන් ගෑස් ටැංකි පුපුරමින් තිබෙන අතර දැනටමත් ජීවිත කිහිපයක් බිලිගෙන අවසන්ය. ඒ පෞද්ගලික අංශයේ ආශ්චර්යමත් හැකියාව හේතුවෙනි. පසුගිය දිනවල ගෑස්, සීනි, කිරිපිටි ආදිය පුද්ගලික සමාගම් විසින් එකට එකක් ලෙස මිල ඉහළ දමන විට රජයට කළ හැකි වූයේ බලා සිටීම පමණි. සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශයට විවෘත කිරීමේ ආදීනව සමස්ත සමාජයක් ලෙස අපි අත්විඳිමින් සිටිමු. රජයේ රෝහල්වල බෙහෙත් පෙත්තක් නැති අතර රෝහල් වටේ ඖෂධ වෙළඳසැල් විවෘත වී ඇත. ඖෂධ මිල ගණන් දිනෙන් දින ඉහළ යන විට රෝගීන්ට කළ හැකිව  තිබෙන්නේ ජීවිතාශාව අතහැර කරබාගෙන සිටීම පමණි. දැන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මේ කියන්නේ එවන් පුද්ගලික අංශයට අධ්‍යාපනයත් විවෘත කළ යුතු බවයි.

දැනටමත් මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාලය දක්වාම අධ්‍යාපනය විකුණන ටියුෂන් කඩ විවෘතව තිබේ. වෙළඳපොළ ක්‍රමය විසින්ම අධ්‍යාපනය තුළ නිර්මාණය කර ඇති පීඩාකාරී තරඟය හේතුවෙන් පාසැල් අධ්‍යාපනයට අමතරව මෙම ටියුෂන් කඩවලට ද සැලකිය යුතු වියදමක් කිරීමට දෙමාපියන්ට සිදුව තිබේ. වරෙක බදු ලෙසත්, දෙවැනි වර පාසල්වලින් කෙරෙන විවිධ මුදල් අය කිරීම් ලෙසත්, තෙවැනුව උපකාරක පංතිවලටත් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් දැනටමත් ජනතාවට ගෙවන්නට සිදුව තිබේ. ආණ්ඩුව දැන් කියන්නේ සිව්වැනි වරට විශ්වවිද්‍යාල උපාධියටත් ගෙවිය යුතු බවයි.

අධ්‍යාපනය පුද්ගලික අංශයට විවෘත කළ යුතු බවට ලෝක මට්ටමෙන් සංවාදයක් පැමිණියේ 70 දශකයේ මුල් භාගයේ වන අතර එහි කිසිඳු නැවුම් බවක් නැත. වසර 40 ට අධික කාලයක් තිස්සේ අධ්‍යාපනය තුළ පුද්ගලික අංශයේ අත්හදාබැලීම් ලෝකය පුරා සිදුකර තිබේ. එමගින් ඇති කර තිබෙන අර්බූදය ලෝක පරිමාණයෙන් විහිද යන්නකි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඔහුගේ ප්‍රතිවාදියා වූ බර්නි සෑන්ඩර්ස් ඇමරිකන් ජනතාව හමුවේ තැබූ පළමු පොරොන්දුව නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය ලබාදීමයි. නිදහස් අධ්‍යාපනය පිළිබඳ සටන් පාඨය ඇමරිකාව වැනි රටවල මැතිවරණ වේදිකාවලටත් පැමිණ තිබෙන්නේ පෞද්ගලික අධ්‍යාපනයේ අමිහිරි අත්දැකීම් දශක ගණනාවක් පුරා එරට ජනතාවට විඳින්නට සිදුව ඇති හෙයිනි. 2019 වසරේ ගාස්තු අය කිරීම්වලට හා ශිෂ්‍ය ණය ක්‍රමයට එරෙහිව ප්‍රංශයේ සිසුන් හා කම්කරුවන් එක්ව උද්ඝෝෂණයෙන් ගොස් විශ්වවිද්‍යාල බිම් අත්පත් කරගන්නා ලදී. 2018 වසරේ ඉන්දියානු රාජ්‍ය සභා වාර්තා භූත විශ්වවිද්‍යාල නමින් හඳුන්වන අධ්‍යාපන ආයතන සිය ගාණක් පිළිබඳව තොරතුරු අනාවරණය කරයි. භූත විශ්වවිද්‍යාල යනු නම පමණක් ඇති භෞතිකව නොමැති විශ්වවිද්‍යාලයන්ය. උපාධිය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට කන්‍යාභාවය විකුණන තරුණියන්, සුගර් මමාලා, සුගර් පපාලා සොයා යන තරුණ තරුණියන් පිළිබඳ අන්තර්ජාලයේ පලවන සිය දහස් ගණන් දැන්වීම් තිබෙයි. අධ්‍යාපන පෞද්ගලිකකරණයේ නොවැළැක්විය හැකි ඊළඟ අර්බූදය වන ශිෂ්‍ය ණය උගුලේ පැටලී ලොව පුරා රටවලින් සිසුන්ගේ සියදිවි නසාගැනීම් වාර්තා වෙයි. නිරුවත් ඡායාරූප ඇපයට තබාගනිමින් ණය ලබාදෙන ආයතන, ශිෂ්‍ය ණය අහෝසි කරන ලෙස එංගලන්තය, නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු රටවල් ගණනාවක ශිෂ්‍ය අරගල, ගුරුවරුන්ගේ අරගල සිදුවෙමින් තිබෙයි. ලොව පුරා රට රටවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාලකයින්ට බල කරමින් කියන්නේ අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරන ලෙස නොව නිදහස් අධ්‍යාපනය ලබා දෙන ලෙසයි. ඒ අනුව ලෝකයේ නූතන ප්‍රවනතාව යනු නිදහස් අධ්‍යාපනය මිස වසර 40 ක් තිස්සේ අසාර්ථක වූ පෞද්ගලික අධ්‍යාපනය නොවේ.

අධ්‍යාපන මනෝ විද්‍යාවේ මූලික මූලධර්ම අනුව ජාති, ආගම්, කුලමල, දුප්පත්, පොහොසත් කිසිඳු භේදයකින් තොරව සියලු සිසුන්ට අධ්‍යාපනයේ සම ප්‍රවේශය තිබිය යුතුය. යුනෙස්කෝ ආයතනය පවා පිළිගත් මූලධර්මය එයයි. පංති කාමරය, දේශන ශාලාව ඇති නැති පරතරය අනුව වෙනස් විය යුතු නැත. නමුත් මෙරට පාලකයන්ට අනුව අධ්‍යාපනය එලෙස වෙනස් විය යුතුය. මුදල් තියෙන අයට මුදල් ගෙවා ඉගෙනගන්න නිදහසක් තිබෙන්න ඕනෑ’යි පැවසීමේ යටි අරුත එයයි. වසංගතයත් සමඟ ගෙවුණු පසුගිය වසර දෙක පිලිබඳව රුහුණ විශ්වවිද්‍යාලය විසින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් අනුව මෙරට ජනගහනයෙන් 52% ක පිරිසකගේ ආදායම් ඍජුව අඩු වී තිබේ. 46% ක පිරිසකගේ ආදායම් ඍජුව අඩු නොවූවත් භාණ්ඩ හා සේවා මිල වැඩි වීම නිසා ඔවුන් ලබන ආදායමේ මූර්ත අගය අඩු වී තිබේ. මේ කොටස් දෙකේම එකතුව 98% ක් වන අතර ජනගහනයෙන් එපමණ පිරිසකගේ ජීවන තත්ත්වයන් කඩාවැටී තිබේ. වසංගතයත් සමඟ ගෙවුණු වසර දෙක තුළ ආදායම් වැඩි වී ඇත්තේ ජනගහණයෙන් 02% ක පිරිසකගේ පමණි. මුදල් ගෙවා ඉගෙනගත හැකි එවැනි 02% ක පිරිසක් රට තුළ සිටින අතර ආණ්ඩුව පවසන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවයි. නමුත් අනෙකුත් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී ඔවුන් ඒවාටත් වැඩිපුර ගෙවන්න ඕනෑ’යි කිසිවෙක් කියන්නේ නැත. මෙය ඇති නැති පරතරය පිළිබඳ ප්‍රශ්නයක් වන අතර එය විසඳිය හැක්කේ හැකියාව ඇත්තන්ට මුදල් ගෙවා ඉගෙනගත හැකි ලෙස අධ්‍යාපනය වෙනස් කිරීමෙන් නොව ආර්ථික ක්‍ෂේත්‍රයේ සිදුකරන වෙනස්කම් මගිනි. පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා සේ ආණ්ඩුව ආර්ථිකයේ සිදු කළ යුතු වෙනස්කම් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදුකරන්නට සැරසෙයි.

රජයේ ප්‍රධාන ආදායම ජනතාවගෙන් අය කරන බදු මුදල් වන අතර එයිනුත් 85% ක් භාණ්ඩ හා සේවා මත අය කරන වක්‍ර බදුය. නැතහොත් හාල් කිලෝ එකෙන්, පරිප්පු සීයෙන්, සීනි පනහෙන් අය කරන බදුය. ජනගහනයෙන් අඩු ආදායම් ලබන 98% ක් මත සමස්ත බදු බරම පටවා තිබේ. 2020 වසර තුළ ලංකාවේ වැඩිපුරම ලාභ ඉපයූ සමාගම් 10 එම වසරේදී උපයාගත් සමස්ත ලාභය ආසන්න වශයෙන් රුපියල් බිලියන 380 කි. ඔවුන් විසින් 2020 වසරේ නොගෙවා පැහැර හරින ලද බදු පමණක් රුපියල් කෝටි දසදහස් පන්සීයකි. කොවිඩ් තුරන් කිරීමට ජනතාවගෙන් මුදල් එකතු කර සැකසූ ඉටුකම අරමුදලට ලැබුණේත් රුපියල් බිලියන 1.7ක් පමණි. මුදල් ඇමතිවරයා පසුගිය දිනෙක නව පනතක් ගැසට් කරමින් මහපරිමාණ සමාගම් විසින් නොගෙවා පැහැර හරින ලද බදු මුදලින් 1% ක් පමණක් රජයට ලබාදෙන ලෙසත් 99% ක් කපා හරින බවත් දැනුම් දෙන ලදී. කළ යුත්තේ අධික ලාභ ලබන, මුදල් ගෙවා දරුවන්ට අධ්‍යාපනය ලබාදිය හැකි මෙම ධන කුවේරයන්ගෙන් වැඩිපුර බදු අය කර ඒවා අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ජනතා සුබසාධනයට වෙන් කිරීමයි. ගුණාත්මක අධ්‍යාපන සේවාවක් වෙනුවෙන් එම මුදල් වෙන් වන විට මුදල් ගෙවා ඉගෙනගැනීමට කිසිවෙකුට අමුතුවෙන් අවශ්‍ය වන්නේ නැත. අධ්‍යාපනයේ සම ප්‍රවේශය නම් ලෝක සම්මත මූලික මූලධර්මය ද ආරක්ෂා වනු ඇත. එවිට වක්‍ර බදු අඩු කිරීමද සිදු කළ හැකි අතර එමගින් ජනතාවගේ ජීවන මට්ටම් ද සාපේක්ෂව ඉහළ දැමිය හැකි වෙයි. නමුත් වැඩිපුර බදු අය කිරීම තබා නොගෙවා පැහැර හරින ලද බදු අයකර ගැනීමටවත් උවමනාවක් නැති රජයක් මුදල් ඇති අයට මුදල් ගෙවා ඉගෙනගන්න දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලමින් සිටියි. ආර්ථිකයේ ප්‍රශ්නවලට අධ්‍යාපනයෙන් උත්තර හොයන මේ සිල්ලර අදහස් අධ්‍යාපනය පිළිබඳ මූලික මූලධර්ම පිළිබඳවවත් නිවැරදි වැටහීමක් තොරව පවසන අමනෝඥ වාගාලාපයන්ය.

මෙරට මුදල් පිටරට යන්නේ අධ්‍යාපනය ලැබීමට වසරකට සිසුන් කිහිප දෙනෙක් විදෙස්ගත වන නිසා නොවේ. රටේ භූමි ප්‍රමාණය මෙන් පස් ගුණයක් විශාල මුහුදක් තබාගෙන පරිභෝජනයට මාලු ගෙන්වන්නේ පිටරටිනි. 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුහුදු ආහාර ආනයනයට රජය ඇ.ඩො. මිලියන 92.0 ක් වියදම් කර තිබේ. ප්‍රධාන බෝගයක් ලෙස වී වගා කරන කෘෂිකාර්මික රටක් වන මෙරට ජනතාවගේ පරිභෝජනයට සහල් ගෙන්වන්නේ චීනය, පාකිස්ථානය, ඉන්දියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවලිනි. සීනි හා රසකැවිලි ආනයනය කිරීමට 2021 ජනවාරි සිට සැප්තැම්බර් වන විට ඇ.ඩො. මිලියන 214.7 ක් වියදම් කර තිබේ. චීනයෙන් ආනයනය කරන බව පැවසූ කාබනික පොහොර සඳහා නිකරුනේ ඩොලර් මිලියන 6.7 ක් දින කිහිපයකට පෙර ගෙවා දමන ලදී. රටේ ඩොලර් පිටරට යන්නේ සිසුන් විදෙස්ගතවීම නිසා වන බවට පදනම් විරහිත තර්ක ඉදිරිපත් කරන්නන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. විදේශ විනිමය සහ ආර්ථික අර්බූදය ඉගෙනගැනීම සඳහා පිටරට යන සිසුන් නිසා සිදුවන්නක් බවට අසත්‍ය මතයක් සමාජය තුළ පැල කරන්නට ජනාධිපතිවරයා සහ ඔහුගේ වන්දිභට්ටයන් කටයුතු කරමින් සිටින්නේ මෙවැනි අනවශ්‍ය වියදම් පිළිබඳව වගේ වගක් නැති ගානටය.

උසස්පෙළ විභාගයෙන් සමත්ව වසරක් පාසා ලක්ෂ දෙකකට ආසන්න සිසුන් පිරිසක් උසස් අධ්‍යාපනයට සුදුසුකම් සපුරයි. 2020 වසරේ උසස්පෙළ සමත් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 194,297 කි. නමුත් මෙම පිරිසෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 40,000 ට ආසන්න ඉතා කුඩා ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි. මෙය අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ පවතින අතිශය බරපතල ගැටලුවකි. නමුත් ඒ සඳහා විසඳුම් සෙවීම මැතිවරණ පොරොන්දුවලට පමණක් සීමා වී තිබේ. වත්මන් ආණ්ඩුවත් මැතිවරණ වේදිකාවේදී පැවසූවේ උසස්පෙළ සමත් සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අවස්ථා ලබා දෙන බවත් ඒ සඳහා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන බවත්ය. මැතිවරණ වේදිකාවල නම් මේ කිසිවෙක් අපි බලයට පත් වූ පසු පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කරනවා යැයි කීවේ නැත. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද එවැනි සටහනක් නැත. නමුත් බලයට පත් වූ වහාම පාලකයන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිවල ‘නිදහස්’ යන්න හැලී යාම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එවිට පවසන්නේ විශ්වවිද්‍යාල අවස්ථා අහිමි වූ අයට විකල්පයක් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදි කරන බවයි. වත්මන් ආණ්ඩුවත් දැන් ගසමින් ඉන්නේ ඒ සුපුරුදු රබන් පදයමය. නමුත් අපි ආණ්ඩුවෙන් හා ආණ්ඩුවේ ප්‍රශස්ති ගයන්නන්ගෙන් විමසන්නේ විශ්වවිද්‍යාල වරම් නොලැබූ මේ උසස් පෙළ සමතුන් කීදෙනෙකුට රුපියල් කෝටි ගණන් වියදම් කර උපාධියක් මිලදීගත හැකිද යන්නයි. උදාහරණයක් ලෙස යහපාලන ආණ්ඩුව සමයේ ආසිරි රෝහල් සමූහය හා ඒකාබද්ධව මෙරට ආරම්භ කරන්නට සැරසුණු ඇබර්ඩීන් ආයතනයේ වෛද්‍ය උපාධියක් ලබාගත හැක්කේ රුපියල් කෝටි 06 ක් වියදම් කළ හැකි සිසුන්ටය. සයිටම් හොර උපාධි කඩයේ වෛද්‍ය උපාධිය ලක්ෂ 120 කි. මෙවන් මුදලක් ගෙවා උපාධියක් හැදෑරිය හැක්කේ උසස්පෙළ සමතුන්ගෙන් කීයෙන් කීදෙනෙක්ටද යන්න ආණ්ඩුව සහ ආණ්ඩුවට කත් අදින්නන් විසින් හෙලිදරව් කළ යුතුය. ඉතාම පැහැදිලිව කිව හැක්කේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට නොවන බවයි. සියලු උසස් පෙළ සමතුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට නම් ඒ සඳහා තිබෙන උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය තව කිහිප ගුණයකින් පුළුල් කළ යුතුය. ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන රජය අධ්‍යාපනයට වෙන් කළ යුතුය. නමුත් වසරින් වසර අධ්‍යාපනයට වෙන් කෙරෙන සොච්චම් මුදල් ප්‍රමාණයත් කප්පාදු කරනවා විනා වැඩි කිරීමක් සිදුවන්නේ නැත. අධ්‍යාපනයට දල දේශීය නිශ්පාදනයෙන් 06% ක් වෙන් කරන ලෙස සිසුන්, ආචාර්යවරුන් සහ සමාජයේ ප්‍රගතිශීලී කොටස් දිගින් දිගටම ඉල්ලන්නේ මෙම අවශ්‍යතාව සපුරාගැනීමටය. දල දේශීය නිශ්පාදනයෙන් අවම 06% ක් අධ්‍යාපනයට වෙන් කළ යුතු බව ලෝක සම්මතයයි. අපට පෞද්ගලික අධ්‍යාපනය ලෝක සම්මතයක්යැයි කියමින් බණ දේශනා කරන කිසිවෙක් ඒ ලෝක සම්මතයන් ගැන කිසිඳු කතාබහක් නැත. මෙවර අයවැයෙන් අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදනයෙන් 7.5% ක් වෙන් කළ බව ලංකාදීප කතුවැකියේ සඳහන් කර තිබිණි. එවැන්නක් මුදල් අමාත්‍යවරයාවත් පැවසූවේ නැත. ඔහු පැවසූවේ අයවැයෙන් 7.5% ක් වෙන් කළ බවයි. දල දේශීය නිශ්පාදනයෙන් මෙවර අධ්‍යාපනයට වෙන් කර තිබෙන්නේ 0.09% ක් පමණි.

ජනාධිපතිවරයා පවසන පරිදි පෞද්ගලික අධ්‍යාපනයට එරෙහි වන්නන් ජාතික අපරාධකරුන් සේ සැලකිය යුතුය. ජාතික අපරාධයක් වන්නේ ජනගහනයෙන් 98% කගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කිරීම නොවේ. එය මේ මොහොතේ කළ යුතු ජනතා සේවයකි. අපරාධය වන්නේ ජනගහනයෙන් 02% ක් පමණ සුළු පිරිසකගේ වරප්‍රසාදයන් වෙනුවෙන් 98% කට සම ප්‍රවේශය අහෝසි කරමින් අධ්‍යාපනය විකිණීමට, කප්පාදු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කිරීමයි. සැබෑ අපරාධකරුවන් වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු ජනතා අයිතීන් විකිණීමට, වරාය - ඉඩම් - ගුවන්තොටුපොළවල් - ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට කටයුතු කරන දේශපාලන තන්ත්‍රය හා ඔවුන්ගේ ප්‍රශස්ති ගායකයන්ය. එහෙයින් ජනතා අයිතීන් - පොදු දේපල විකුණන ජාතික අපරාධකාරයන්ට එරෙහිව සියලු ජනතාව ඒකරාශී වී විරෝධය දැක්විය යුතු බව අප යෝජනා කරමු.

(2021.12.14 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසිනි)









Friday, November 12, 2021

ඇප දුන්නත් සිසුජන නායකයින් සඳුදා තෙක් හිරේ!



ඇප දුන්නත් සිසුජන නායකයින් සඳුදා තෙක් හිරේ!

දින 102 ක් තිස්සේ නිරපරාදේ සිරගත කරගෙන සිටි අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු පිරිසට හෝමාගම මහාධිකරණයේදී ඉකුත් 11 දින ඇප නියම කරන ලදී. ඒ මහා මාර්ග ආඥා පනත යටතේ ඉදිරිපත් කළ යුතු නඩුවක් පොදු දේපල පනත යට⁣තේ ඉදිරිපත් කර ඇති බවටත්, එහෙයින් චෝදනා ව්‍යාජ බවටත් නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු පිළිගනිමිනි. 

අද දින (12) එම මහාධිකරණ ඇප නියෝගයත් සමඟ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අත්සන් කිරීම සඳහා මෝෂන් පතක් ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා උසාවියට පැමිණ නැවත පිටව යාම නිසා මෝෂන් පත සලකාබැලීම සඳුදා (15) දිනට කල් තබන ලදී. ඒ අනුව ඇප අත්සන් කිරීම 15 දින සිදුවන අතර එතෙක් සිසුජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්ට තවදුරටත් සිරගතව සිටීමට සිදුවේ.

මේ පිළිබඳව කරුණු දැක්වූ නීතීඥ කමල් විජේසිරි




Sunday, November 7, 2021

සුජීව අමරසේනගේ මිලිටරි පාලනයට එරෙහිව රුහුණේ ආදි සිසුන් හඬ අවධි කරයි!









සුජීව අමරසේනගේ මිලිටරි පාලනයට එරෙහිව රුහුණේ ආදි සිසුන් හඬ අවධි කරයි!

පසුගිය වසර තුනක පමණ කාලයක සිට රුහුණ විශ්වවිද්‍යාලය තුළ උපකුලපති සුජීව අමරසේන උපකුලපතිවරයා විසින් ගෙන යනු ලබන අත්තනෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී මිලිටරිමය පරිපාලන ආකෘතිය සහ උපකුලපති නිළවරණය සමඟ විශ්වවිද්‍යාලය තුල උද්ගත වී ඇති අර්බුදකාරී තත්වය සම්බන්ඳව රුහුණ විශ්වවිද්‍යාලයේ ආදිවිද්‍යාර්ථයින් විසින් අද දින (07) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

සුජීව අමරසේන මහතා රුහුණ  විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත්වී මේ වන විට වසර තුනකට ආසන්න වෙමින් ඇත.එම වසර තුනකට ආසන්න කාලය තුළ ඔහු විසින් සුවිශාල ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලදී. ශිෂ්‍යයන්ට පමණක් නොව ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවකයන්ටද අත්තනෝමතිකත්වයට මුහුණදීමට මේ වනවිට සිදුව ඇත. විරුද්ධ මත දැඩි ලෙස මර්දනය කළ ඔහු තම ඕනෑම අදහසකට එකඟවන එහෙයියන් පිරිසක් සමග පමණක් එකතුව විශ්වවිද්‍යාල පරිපාලනය ගෙනයමින් ඇත. වත්මන් නියෝජ්‍ය උපකුලපතිවරයා සහ විනය පාලක වරයා උපකුලපතිවරයාගේ පදයට නටන රූකඩ පරිපාලකයන් ලෙස පෙරමුණෙනම සිටී. මෙවැනි තත්වයක් තුළ විශ්වවිද්‍යාල ප්‍රජාව ලෙස සිසුන්, ආචාර්යවරුන්,අනධ්‍යන සේවකයන් අතර දැවැන්ත විරෝධයක් සුජීව අමරසේන උපකුලපතිවරයාගේ පරිපාලනයට එරෙහිව ගොඩනැගී ඇත.

එහිදී ඔවුන් සදහන් කර සිටියේ "විශ්වවිද්‍යාලයක් තුල නිදහසේ ඉගනීමට හැකි එය සියලු ජන ප්‍රජාවන් ට විවෘත,ඉබි යතුරු දමා වසා නැති භූමියක් බවට රුහුණ පත් විය යුතු බවයි. විද්‍යාලයාලය තුළ අධ්‍යයන නිදහස මෙන්ම දේශන ශාලාවෙන් බැහැරව සිදුකරන ක්‍රියාකාරකම් සඳහා ද නිදහස තිබිය යුතුය. එසේම සංවිධානය වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විශ්වවිද්‍යාලය තුළ තිබිය යුතුය."විශ්වවිද්‍යාලය"යන වචනයට සැබැවින්ම සැබැවින්ම එහි අර්ථය එකතු වන්නේ එවිටයි. සමාජ විරෝධී සහ සදාචාර විරෝධී  නොවන ක්‍රියාවන් සඳහා විශ්වවිද්‍යාලය තුළ සීමා පැනවෙන්නේ නම් එය විශ්වවිද්‍යාල අධ්‍යාපනය මොට කිරීමක් ලෙස දකිමු. විශ්වවිද්‍යාල පාලකයන්ට අවශ්‍යය වන්දිභට්ටයින් තනන අවකාශයක් වන්නේ නම් අප සමාජයක් ලෙස තවදුරටත් ඛේදවාචකයටම තල්ලු වීම වළකා ලිය නොහැක. කණගාටුවට කරුණ වන්නේ රුහුණ විශ්වවිද්‍යාලය තුළ එවැනි විචාරශීලී සබුද්ධික ශිෂ්‍ය ප්‍රජාවක් බිහි වීමට ඇති ඉඩකඩ අවුරා දමමින් තිබීමයි. ඒ සඳහා සුජීව අමරසේන උපකුලපතිවරයා ඇතුළු පිරිස ගත හැකි සියලුම නන්විද උත්සාහයන් ගනිමින් ඇත.

විශ්වවිද්‍යාලය තුළ සිසුන් ඒකරාශි වන ස්වාධීන සිසු ක්‍රියාකාරකම් තහනම් කර ඇත. සාමූහික අධ්‍යයන කටයුතු (කුප්පි) සිදු කිරීම පවා තහනම්ය. හැඳුනුම්පත පෙන්වා ගේට්ටුවෙන් ඇතුල් වී සවස හයෙන් පසුව විශ්වවිද්‍යාලයෙන් ඉවත් විය යුතුය. දේශන නොමැති විට විශ්වවිද්‍යාලය තුළ සිටීමද දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත. සිසුන් නේවාසිකාගරයට සවස හය වනවිට වාර්තා කළ යුතුය. නේවාසිකාගාර වල පවා සීසීටීවී කැමරා සවි කර ඇත්තේ ශබ්ද පටිගත කිරීමේ තාක්ෂණයද සමඟය. විශ්ව විද්‍යාලය තුල ද සීසීටීවී කැමරා සවි කර ඇත. බැනර් හෝ පෝස්ටර් විශ්වවිද්‍යාලය තුළ ප්‍රදර්ශනය කර අදහස් ප්‍රකාශ කිරීම තහනම්ය. එසේම විශ්වවිද්‍යාල තුල පවතින ඇතැම් පසුගාමී සංස්කෘතිකාංග පලිහක් ලෙස ගෙන සිසුන් මර්දනය සඳහා කටයුතු කිරීම සුජීව අමරසේන උපකුලපතිවරයාගේ සැලසුම වී ඇත. මෙම මර්දන කාරි වැඩපිලිවෙලට ආදිවිද්‍යාර්තයින් ලෙස එරෙහි වන  බවත් ඊට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔවුන් තවදුරටත් සදහන් කර සිටියහ.





Saturday, November 6, 2021

සිසුජන නායකයින් බැලීමට යුරෝපා සංගමය හිරගෙදරට යයි!



සිසුජන නායකයින් බැලීමට යුරෝපා සංගමය හිරගෙදරට යයි !

ආණ්ඩුවේ දේශපාලන උවමනාවට දින 100 ක් තිස්සේ නිරපරාදේ සිරගත කරගෙන සිටින සිසුජන ව්‍යාපාරයේ නායකයින්ගේ සුවදුක් විමසීමට ඊයේ (05) යුරෝපා සංගමයේ රටවල් නියෝජනය කරමින් විශේෂ නියෝජිතයෙක් බන්ධනාගාරයට පැමිණුනි. 

කොතලාවල පනතට එරෙහිව අගෝ.03 පැවැත්වූ උද්ඝෝෂණය හේතුවෙන් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු සිසු - කම්කරු නායකයින් 05 දෙනෙකු තලංගම පොලීසිය විසින් අත්තඩංගුවට ගන්නා ලදී. පපසුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව දිගින් දිගටම ඇප ප්‍රතික්ෂේප කරමින් මේ වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කර රඳවාගෙන සිටී. මෙලෙස බන්ධනාගාරය තුළ අඛණ්ඩව රඳවාගෙන සිටින්නේ ඇප දිය හැකි චෝදනා තිබියදී මෙන්ම අතිශය ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමිනි. පොදු දේපල හානි කළ බවට පවසමින් ගොනු කර ඇති චෝදනා අවම වශයෙන් පොදු දේපල පනත යටතේවත් වරදවල් ලෙස සැලකෙන්නේද නැත. කෝෂිලා හංසමාලි හා චමීර කොස්ව ත්ත යන දෙදෙනාට ඉදිරිපත් කර ඇති චෝදනා සාවද්‍ය බවට තලංගම පොලීසිය විසින්ම උසාවියට වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. නමුත් එසේ තිබියදී කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක දිගින් දිගටම අහේතුකව ඇප ප්‍රතික්ෂේප කරමින් සිටියි. මෙය ඉතා පැහැදිලිවම ආණ්ඩුවේ දේශපාලන මැදිහත්වීමකි. බන්ධනාගාරය අසලදී අදහස් දැක්වූ අ.වි.ශි.බ.ම නියෝජිතයින් පැවසුවේ ආණ්ඩුව නීතියේ දෙවඟනගේ කරටත් සාටකය පළඳවා ඇති බවයි. 

උද්ඝෝෂණය කිරීම, විරෝධය දැක්වීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික අයිතීන් ලෙස පිළිගැනෙන අතර මෙරට ජනතාවගේ එම අයිතය ආණ්ඩුව දැඩි මර්දනයක් මගින් අහෝසි කරමින් සිටියි. සිසුජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් සිරගත කළේ පොදු දේපල විනාශ කිරීමක් නිසා නොව කොතලාවල පනතට එරෙහිව සිදුපකළ අරගලය කඩාකප්පල් කිරීමේ අරමුණෙනි. අරගලය පෙරටම ඇදෙන විට තවදුරටත් ඇප ⁣ප්‍රති⁣ක්ෂේප කරමින් පලිගැනීම්වාරය දීර්ඝ කරන ලදී. අ.වි.ශි.බ.ම කැඳවුම්කරු පොලිස් අත්තඩංගුවේ සිටියදී බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඔහුට හැකි නම් මෙවර එළියට ඇවිල්ල පෙන්වන්නැයි කියමින් තර්ජනය කර තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ දේශබන්දු තෙන්නකෝන් කඩුවෙල උසාවියේ තීරණය නඩුවට පෙරම දැන සිටි බව නොවේද ?

මෙම ප්‍ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත්වීම පිළිබඳව අ.වි.ශි.බ.ම සියලු තානාපති කාර්යාල දැනුවත් කළ බවත්, ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධාන සමඟ ද සාකච්ඡා කළ බවත් පැවසූ අතර ඉදිරියටත් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බව ද අදහස් දැක්වූ අ.වි.ශි.බ.ම නියෝජිතයා පැවසීය.




Friday, November 5, 2021

2020 A/L සිසුන් සමඟ අන්තරේ UGC යයි!

 







UGC සභාපති සමඟ 2020 A/L සිසුන්ගේ ගැටලුව පිළිබඳව අන්තරේ සාකච්ඡාවක්!

ඊයේ (05) දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා 2020 උසස්පෙළ කඩයිම් ලකුණු ගැටලුවෙන් විද්‍යා විෂය ධාරාවෙන් අසාධාරණයට පත් සිසුන් සහ දෙමාපියන් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වෙත යන ලදී. උසස්පෙළ කඩයිම් ලකුණු ගැටලුව පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් විමසීම සදහා යි. මෙම අවස්ථාව සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ද සම්බන්ධ විය.

එම අවස්ථාවේදී විශ්වවිද්‍යාල කොමිසම් සභාපති සම්පත් අමරතුංග මහතා සමග  සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී සිසුන් තමන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳ දැනුවත් කරන ලදී. පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙවර සරසවි  බදවා ගැනීම් කප්පාදු කිරීමක් සිදුකර ඇති බව පෙන්වා දුන් අතර පසුව සභාපතිවරයා පවසනු ලැබූයේ තවම බදවා ගැනීම කටයුතු අවසන් කර නොමැති වූවත් උත්තර පත්තර නැවත පරීක්ෂණ කටයුතු සිදුකර අවසන් කළ පසු ඉතුරු ප්‍රමාණය ද බදවාගැනීමට කටයුතු කරන බවයි. ඒ සදහා තව මසක පමණ කාලයක් ගත වන බවත් ඒ අනුව පසුගිය වර්ෂයේ දී විශ්වවිද්‍යාල සදහා බදවා ගත් සිසුන් ප්‍රමාණය මෙවරද අනිවාර්යයෙන්ම බදවා ගැනීමට කටයුතු කරන බවයි.

පසුගිය වර්ෂයේ දී කඩයිම් ලකුණු ගැටලුව පැමිණි අවස්ථාවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එම සිසුන් සහ දෙමාපියන් සමග කරන ලද අරගලයක ප්‍රතිඵල ලෙස සිසුන් අමතරව 2000කට වඩා වැඩි පිරිසක් විශ්වවිද්‍යාල සදහා බදවා ගැනීමට ආණ්ඩුවට සිදු වූ අතර ඒ අතරින් වෛද්‍ය පීඨ සදහා අමතරව බදවා ගත් සිසුන් ප්‍රමාණය 110 කි. එම නිසාවෙන් මෙම කඩයිම් ලකුණු ගැටලුවට ඇති විසදුම වනුයේ විශ්වවිද්‍යාල වෙත බදවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමයි. එම නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ පොරොන්දු වලට සීම නොවී අසාධාරණයට පත් සිසුන් ඇතුළුව වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල වෙත බදවා ගැනීම සදහා මැදිහත්වන බව අ.වි.ශි.බ.ම පවසයි.










Wednesday, November 3, 2021

මර්දනයට එරෙහිව අන්තරේ මානව හිමිකම් යයි!




මර්දනයට එරෙහිව අන්තරේ මානව හිමිකම් යයි!

අද (03) දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා සිරගත කර සිටින අන්තරේ කැදවුම්කරු ඇතුළු සහෝදර සහෝදරියන් 05 දෙනාගේ ඥාතීන් ද සමග මානව හිමිකම් කොමිසම් සභාව වෙත යන ලදී. ඒ සිරගත කර සිටින අන්තරේ කැදවුම්කරු සහෝදරයා ඇතුළු සිසු ජන නායකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව පැමිණිලි කිරීමටයි.

එහිදී මෙම පැමිණිල්ලට අදාලව වග උත්තර කරුවන ලෙස කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, දේශබන්දු තෙන්නකෝන් මහතා සහ තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා නම් කර ඇත. පැමිණිල්ලට අදාලව,

• මහා මාර්ග ආඥා පනත මගින් නඩු පැවරිය යුතු සිදුවීමකට පොලීසිය හිතාමතාම ඇප ලබා ගැනීමට නොහැකි වන අයුරින් පොදු දේපළ පනතින් නඩු දැමීම හා චේතනාන්විතව මැදිහත් වීම.

• කෝශිලා හංසමාලි සහ චමීර කොස්වත්ත යන අයට සාක්ෂි නොමැති නිසාවෙන් පොදු දේපළ පනතින් නඩු පැවරිය නොහැකි බව පොලීසියම අධිකරණයට කරුණු වාර්තා කර ඇති මොහොතකත් අධිකරණය මගින් ඔවුන්ව රදවා තබා ගැනීම.

•අන්තරේ කැදවුම්කරු සහෝදරයා අත්අඩංගුවට ගත් දින පොලීසියේ දී තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ දුරකථනය මාරගයෙන් දේශබන්දු තෙන්නකෝන් පොලිස් අධිකාරීවරයා අන්තරේ කැදවුම්කරුට තරජනය කිරීම හා එම ප්‍රකාශ අද වනවිට සනාථ වීම.

•ගොණු කර ඇති චෝදනා ඔප්පු කිරීමට තරම් කිසිදු සාක්ෂියක් නොමැති මොහොතකත් අද වනවිට මාස 03 ක් දක්වා අත්තනෝමතික ලෙස රදවා තබා ගැනීම හා දේශපාලන මැදිහත් වීම

යන කරුණු ඉදිරිපත් කළ අතර ඉදිරියේදී පොලීසිය, අධිකරණය හා යුක්තිය පසිඳලීමේ ආයතන වල ක්‍රියා කලාපය හා ආණ්ඩුවේ හිතවාදී නොවන පුද්ගලයන් මර්දනය කිරීම හා අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ අයිතිය උදුරා ගැනීම ආදී මූලික අයිතිවාසිකම් කඩකිරීමට අදාලව ජාත්‍යන්තර මානවහිමිකම් ආයත වලට ද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව අ.වි.ශි.බ.ම පවසයි.