Sunday, December 20, 2020

මහපොල අරමුදලින් උපාධි කඩයක්! තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක්.


1. මහපොල භාරකාර අරමුදල හරහා උපාධි කඩ ආරම්භ කිරීම.

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා මහපොල භාරකාර අරමුදලේ මුදල් යෙදවීමට කටයුතු කරන බව මහපොල භාරකාර අරමුදලේ අධ්‍යක්ෂක පරාක්‍රම බණ්ඩාර පුවත්පතක් වෙත අදහස් පල කර තිබේ. ඔහු පවසන්නේ සිසුන්ගේ මහපොල දීමනා වැඩි කිරීමේ අරමුණින් විදෙස් විශ්වවිද්‍යාල මෙරට පිහිටුවන බවත්, ඒ සඳහා යටිතල පහසුකම් සැපයීමට මහපොල භාරකාර අරමුදලේ මුදල් යොදවන බවත්, එම විශ්වවිද්‍යාල විසින් අධ්‍යාපනය විකුණා උපයන ලාභයෙන් 20%ක් මහපොල භාරකාර අරමුදලට ලබාගන්නා බවත්ය. 

මෙම කුමන්ත්‍රණය කුමක්ද යන්න බැලූ බැල්මට පැහැදිලි වේ. පසුගිය කාලයක් පුරා අධ්‍යාපනය විකිණීම සඳහා උපාධි කඩ ආරම්භ කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් විසින් දැවැන්ත අරගල ක්‍රියාත්මක කරන ලදී. එහි මෑතකාලීනම අත්දැකීම සයිටම් අරගලයයි. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කොට අධ්‍යාපනය වෙළඳපොලට විවෘත කිරීම විසින් නිදහස් අධ්‍යාපනයට අංශු මාත්‍රයක යහපතක් සිදුවන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ වෙළඳපොල විසින් ක්‍රමානුකූලව නිදහස් අධ්‍යාපනය ගිලගැනීමයි. දැනටමත් විශ්වවිද්‍යාල සඳහා වෙන්කරන ප්‍රතිපාදන බරපතල කප්පාදුවකට ලක්ව තිබේ. 2021 අයවැයෙන්ද බිලියන 40ක මුදලක් කප්පාදු කර තිබේ. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන සුබසාධන ගැටලු දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී. 2019 උසස්පෙළ සිසුන් මුහුණ දෙන කඩඉම් ලකුණු ගැටලුවට විසඳුම් ලෙස වැඩිපුර සිසුන් ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වෙත බඳවාගැනීමට අදිමදි කිරීමටද හේතුව අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොවීමයි. මේ ගැටලු පිටුපස ඇති මූල හේතුව වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියයි. රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ පවතින්නේ නිදහස් අධ්‍යාපනය පුළුල් කිරීම නොව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කොට අධ්‍යාපන වෙළඳපොලක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළකි. පෞද්ගලිකකරණය රජයේ ප්‍රතිපත්තිය වූ තැන් පටන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රමානුකූලව ස්වභාවික මරණයට යැවීමේ වැඩපිළිවෙළ ද ආරම්භ විය. විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ජනතා බලවේග අධ්‍යාපන  පෞද්ගලීකරණයට එරෙහිව දිවි නොතකා අරගල කරන්නේ මේ අනතුර හඳුනාගත් බැවිනි. ශිෂ්‍යයන් අධ්‍යාපන වෙළඳපොල වෙත ⁣යොමු කො⁣ට ලාභ ඉපයීමට නම් අනිවාර්යයෙන්ම නිදහස් අධ්‍යාපනය වලපල්ලට යැවිය යුතුය. කවුරු කෙසේ තර්ක ගොඩනැගුවත් නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපන වෙළඳපොලත් එකතැන, එකවිට පවතින්නේ නැත. එය පරස්පර විරෝධීය. ජනතාවගේ බදු මුදල් අවම වශයෙන් 06%ක්වත් අධ්‍යාපනයට වෙන් කොට නිදහස් අධ්‍යාපනය යටතේ සියලු උසස්පෙළ සමතුන්ට උසස් අධ්‍යාපන අවස්ථා සැලසීමට රජයට බැරිකමක් නැත. මේ බැරි බැරියාව පවතින්නේ අධ්‍යාපන වෙළඳපොලක් ඉලක්ක කරගත් රාජ්‍ය ප්‍රතිපත්තිය හේතුවෙනි.

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොල වාරිකය ජීවන වියදමට නොසරිලන බවත්, අවසන් වතාවට මහපොල දීමනාව වැඩි වී ඇත්තේ 2015 වස⁣රේ බවත් සඳහන් කරමින් මහපොල හා ශිෂ්‍යාධාර වාරික රු.10,000ක් දක්වා වැඩි කරන ලෙස බලකරමින් සිසුන් පසුගිය කාලයක් පුරා අඛණ්ඩව අරගල කරන ලදී. මේ පිළිබඳව 2020.01.09 දින පාගමනින් ගොස් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එවකට උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන සමඟත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සමඟත්, ජනාධිපති ලේකම්වරයෙකු සමඟත් සාකච්ඡා කළ අතර එහිදී ඔවුන් පැවසුවේ සිසුන්ගේ ඉල්ලීම් පිළිගන්නා බවත්, මහ⁣පොල භාරකාර අරමුදලේ බරපතල වංචාවක් සිදුව ඇති හෙයින් අරමුදල සතුව මුදල් නොමැති බවත්, එය යථා තත්ත්වයට පත් කරමින් සිසුන්ගේ ඉල්ලීම් ඉටු කරන බවත්ය. මහපොල හා ශිෂ්‍යාධාර වාරික ප්‍රමාණවත් නොවීම සරසවි සිසුන් මුහුණ දෙන අතිශය සංවේදී ගැටලුවකි. දැන් ආණ්ඩුව සැරසෙන්නේ සිසුන්ගේ එම අවශ්‍යතාවය පෙන්වමින් මහපොල අරමුදලට මුදල් ඉපයීමට අවශ්‍ය බව කියා උපාධි කඩ ආරම්භ කිරීමටය. මෙය ඌරාගේ මාලු ඌරාගේ පිටම තබා කැපීමට සැරසීමකි. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන බව කියමින් නිදහස් අධ්‍යාපනයට ක්‍රමානුකූලව උග්‍ර විෂ රසායන කැවීමකි. මහපොල වාරිකය ඉහළ දමන බව ජනපතිවරණයට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික පොරොන්දුවක් වූ අතර මේ ක්‍රියාත්මක වන්නේ එහි සඳහන් නොකළ, ජනතාව ඉදිරියේ නොකියූ කොටසයි. මහපොල භාරකාර අරමුදල කොල්ලකෑවේ මෙරට පොදු ජනතාව නොවන අතර එයට වගකිවයුත්තන් සිටින්නේ පාලකයන්ගේම තුරුල්ලේය. එසේ තිබියදී මේ සැරසෙන්නේ මහපොල භාරකාර අරමුදල ශක්තිමත් කිරීමට යැයි පවසමින් ජනතාවටම අධ්‍යාපනය මුදලට විකිණීමටයි. 


02. කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත.

මේ අතර පසුගිය යහපාලන ආණ්ඩුව විසින් 2018 අප්‍රේල් මස 06 දින ඉදිරිපත් කරන ලද කොතලාවල නව පනතට වත්මන් ආණ්ඩුව විසින් කැබිනට් අනුමැතිය ලබා⁣ගෙන තිබේ. මෙය සම්පූර්ණයෙන්ම මිලිටරි ව්‍යූහයක් මතින් නඩත්තු වන නව ක්‍රමවේදයක් වන අතර විශ්වවිද්‍යාල ආරම්භ කිරීම, සිසුන්  බඳවාගැනීම, විෂයමාලා නිර්මාණය කිරීම වැනි අධ්‍යාපනය පිළිබඳ සියලු බලතල ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ආරක්ෂක ලේකම් ඇතුළු මිලිටරි ව්‍යූහයකට පැවරේ. 1978/16 විශ්වවිද්‍යාල පනතෙහි අඩංගු කරුණු කිසිවක් මෙම ව්‍යූහයට බලපැවැත්වෙන්නේ නැත. ඉතා පැහැදිලිව මෙය මිලිටරිය යොදාගෙන ගෙන එන පෞද්ගලික විශ්වවිද්‍යාල පනතකි. 2018 වසරේ මෙය ගෙන ආ පළමු මොහොතේ ම විශාල ජනතා විරෝධයක් නැගුණු අතර ඒ හේතුවෙන් පනත තාවකාලිකව හකුළාගන්නා ලදී. නමුත් දැන් වත්මන් ආණ්ඩුව නැවතත් එයට කැබිනට් අනුමැතිය ගෙන තිබේ.

මේ පිළිබඳව අ.වි.ශි.බ.ම ලෙස අප බලවත් විරෝධය පල කරන අතර කිසිසේත්ම පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමට ඉඩ තැබිය නොහැක. ⁣එහෙයින් මහපොල භාරකාර අරමුදල සතු මුදල් යොදවා පෞද්ගලික විශ්වවිද්‍යාල තැනීමත්, කොතලාවල උපාධි කඩය හරහා මිලිටරි ව්‍යූහයකින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමටත් එරෙහිව සියලු බලවේග එක්කරගත් දැවැන්ත අරගලයක් අප ඉදිරියේ තිබේ.


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

No comments:

Post a Comment