2021.12.13 දින ‘පෞද්ගලික සරසවි ජාතික අපරාධයක්ද?’ මැයෙන් පල කළ ලිපියට ලංකාදීප පුවත්පත වෙත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් යොමු කරන ලද පිළිතුරු ලිපියකි.
පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම හෙවත් පෞද්ගලික විශ්වවිද්‍යාල
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 වසරට අදාළ උපාධි ප්‍රධානෝත්සව අවස්ථාව ආමන්ත්‍රණය කළ ජනාධිපතිවරයා අධ්‍යාපනය පෞද්ගලික අංශයට විවෘත කළ යුතු බව අවධාරණය කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරන ලදී. එම කරුණු අනුමත කරමින් දෙසැම්බර් 13 දින ලංකාදීප පුවත්පතේ කතුවැකියද පල කර තිබිණි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හා ලංකාදීප කතුවැකිය තුළින් අධ්‍යාපන පෞද්ගලිකකරණයට පක්ෂව ඉදිරිපත් කරන ලද කරුණු සාරාංශයක් ලෙස පහත අංකනය කරමු.
1. පෞද්ගලිකකරණය අධ්‍යාපනය පිළිබඳ ලෝක සම්මත නවතම ප්‍රවනතාවයි. අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහි වීම යල්පැන ගිය දේශපාලන මතයකි.
2. ආර්ථික අපහසුකම් ඇති සිසුන්ට ඉගෙනගැනීමට රාජ්‍ය සරසවි තිබෙනවා සේම මුදල් වියදම් කළ හැකි අයට මුදල් ගෙවා ඉගෙනගැනීමට පෞද්ගලික විශ්වවිද්‍යාල ද තිබිය යුතුය.
3. ගතවන මොහොත තුළ ගැඹුරු ආර්ථික අර්බූදයකට හා විදෙස් විනිමය හිඟයකට රට මුහුණ දී සිටියි. අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන් විදෙස් ගතවීම නිසා වාර්ෂිකව සැලකිය යුතු මුදලක් රටට අහිමි වෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල තිබුණේ නම් එම මුදල් ඉතිරි කරගත හැකි අතරම විශාල විදෙස් විනිමයක් ඉපයීම ද කළ හැකි වේ.
4. වාර්ෂිකව උසස්පෙළ විභාගය සමත්වන පිරිස අතුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ ඉතා සුළු ශිෂ්‍ය සංඛ්‍යාවකි. සරසවි වරම් නොලබන අනෙක් සිසුන්ට උසස් අධ්‍යාපනය ලැබීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිවිය යුතුය.
5. පෞද්ගලික අධ්‍යාපනයට එරෙහි වීම ජාතික අපරාධයකි. අධ්‍යාපනය පෞද්ගලකිකකරණයට එරෙහි වන්නන් අපරාධකරුවන් සේ සැලකිය යුතුය.
පෞද්ගලික අංශය මැදිහත් වූ කිසිඳු සේවාවක්, භාණ්ඩයක් සමාජයට යහපතක් කළ බවට ලංකාවේ වෙසෙන අපට නම් කිසිම ආකාරයක අත්දැකීමක් නැත. එයට උදාහරණ ගතවන මේ මොහොතෙන් ගත හැකිය. මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය වන සහල් නිශ්පාදනය සම්පූර්ණයෙන්ම පාහේ රඳා පවතින්නේ පෞද්ගලික ව්‍යවසායකයින් තිදෙනෙක් අතය. අද සහල් කිලෝව අළෙවි කෙරෙන්නේ රු.140 ක් 150 ක් පමණ ඉතා වැඩි මුදලකටය. ජනතාව තවදුරටත් බත් කනවාද නැද්ද යන්න තීරණය කිරීමේ ඒකාධිකාර බලය පුද්ගලයින් තිදෙනෙක් විසින් හොබවමින් සිටියි. පුද්ගලික අංශය හොඳයි කියමින් ආවඩන්නන්ට කන බත් පතෙන්ම එහි සැබෑ ස්වරූපය වටහාගත හැකිය. 1977 න් පසු ප්‍රවාහනය පෞද්ගලිකකරණය කරමින් පාලකයින් පැවසුවේ එමගින් ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙන්ම මිල පහත හෙලීමද කළ හැකිවනු ඇති බවයි. ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳව පොල් පැටෙව්වා සේ මගීන් පටවාගෙන රේස් පදින පුද්ගලික බස්රථවල ගමන් ගන්නා අය සාක්ෂි දරනවා ඇත. අවුරුද්දකට කිහිප වතාවක් ගාස්තු ඉහළ දැමීම පෞද්ගලික බස් හිමියන්ගේ උවමනාව අනුව සිදු කරන්නකි. ගෑස් සමාගම් දෙකක ලාභය වෙනුවෙන් මේ ගතවන මොහොතේත් ජනතාවට සිය නිවෙස්වල බියෙන් ත්‍රස්තව ජීවත් වීමට සිදුව ඇත. ගෑස් ටැංකිවල ප්‍රොපේන්, බියුටේන් සංයුතිය සමාගම් හිතුමනාපෙට වෙනස් කිරීම හේතුවෙන් ගෑස් ටැංකි පුපුරමින් තිබෙන අතර දැනටමත් ජීවිත කිහිපයක් බිලිගෙන අවසන්ය. ඒ පෞද්ගලික අංශයේ ආශ්චර්යමත් හැකියාව හේතුවෙනි. පසුගිය දිනවල ගෑස්, සීනි, කිරිපිටි ආදිය පුද්ගලික සමාගම් විසින් එකට එකක් ලෙස මිල ඉහළ දමන විට රජයට කළ හැකි වූයේ බලා සිටීම පමණි. සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශයට විවෘත කිරීමේ ආදීනව සමස්ත සමාජයක් ලෙස අපි අත්විඳිමින් සිටිමු. රජයේ රෝහල්වල බෙහෙත් පෙත්තක් නැති අතර රෝහල් වටේ ඖෂධ වෙළඳසැල් විවෘත වී ඇත. ඖෂධ මිල ගණන් දිනෙන් දින ඉහළ යන විට රෝගීන්ට කළ හැකිව තිබෙන්නේ ජීවිතාශාව අතහැර කරබාගෙන සිටීම පමණි. දැන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මේ කියන්නේ එවන් පුද්ගලික අංශයට අධ්‍යාපනයත් විවෘත කළ යුතු බවයි.
දැනටමත් මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාලය දක්වාම අධ්‍යාපනය විකුණන ටියුෂන් කඩ විවෘතව තිබේ. වෙළඳපොළ ක්‍රමය විසින්ම අධ්‍යාපනය තුළ නිර්මාණය කර ඇති පීඩාකාරී තරඟය හේතුවෙන් පාසැල් අධ්‍යාපනයට අමතරව මෙම ටියුෂන් කඩවලට ද සැලකිය යුතු වියදමක් කිරීමට දෙමාපියන්ට සිදුව තිබේ. වරෙක බදු ලෙසත්, දෙවැනි වර පාසල්වලින් කෙරෙන විවිධ මුදල් අය කිරීම් ලෙසත්, තෙවැනුව උපකාරක පංතිවලටත් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් දැනටමත් ජනතාවට ගෙවන්නට සිදුව තිබේ. ආණ්ඩුව දැන් කියන්නේ සිව්වැනි වරට විශ්වවිද්‍යාල උපාධියටත් ගෙවිය යුතු බවයි.
අධ්‍යාපනය පුද්ගලික අංශයට විවෘත කළ යුතු බවට ලෝක මට්ටමෙන් සංවාදයක් පැමිණියේ 70 දශකයේ මුල් භාගයේ වන අතර එහි කිසිඳු නැවුම් බවක් නැත. වසර 40 ට අධික කාලයක් තිස්සේ අධ්‍යාපනය තුළ පුද්ගලික අංශයේ අත්හදාබැලීම් ලෝකය පුරා සිදුකර තිබේ. එමගින් ඇති කර තිබෙන අර්බූදය ලෝක පරිමාණයෙන් විහිද යන්නකි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඔහුගේ ප්‍රතිවාදියා වූ බර්නි සෑන්ඩර්ස් ඇමරිකන් ජනතාව හමුවේ තැබූ පළමු පොරොන්දුව නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය ලබාදීමයි. නිදහස් අධ්‍යාපනය පිළිබඳ සටන් පාඨය ඇමරිකාව වැනි රටවල මැතිවරණ වේදිකාවලටත් පැමිණ තිබෙන්නේ පෞද්ගලික අධ්‍යාපනයේ අමිහිරි අත්දැකීම් දශක ගණනාවක් පුරා එරට ජනතාවට විඳින්නට සිදුව ඇති හෙයිනි. 2019 වසරේ ගාස්තු අය කිරීම්වලට හා ශිෂ්‍ය ණය ක්‍රමයට එරෙහිව ප්‍රංශයේ සිසුන් හා කම්කරුවන් එක්ව උද්ඝෝෂණයෙන් ගොස් විශ්වවිද්‍යාල බිම් අත්පත් කරගන්නා ලදී. 2018 වසරේ ඉන්දියානු රාජ්‍ය සභා වාර්තා භූත විශ්වවිද්‍යාල නමින් හඳුන්වන අධ්‍යාපන ආයතන සිය ගාණක් පිළිබඳව තොරතුරු අනාවරණය කරයි. භූත විශ්වවිද්‍යාල යනු නම පමණක් ඇති භෞතිකව නොමැති විශ්වවිද්‍යාලයන්ය. උපාධිය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට කන්‍යාභාවය විකුණන තරුණියන්, සුගර් මමාලා, සුගර් පපාලා සොයා යන තරුණ තරුණියන් පිළිබඳ අන්තර්ජාලයේ පලවන සිය දහස් ගණන් දැන්වීම් තිබෙයි. අධ්‍යාපන පෞද්ගලිකකරණයේ නොවැළැක්විය හැකි ඊළඟ අර්බූදය වන ශිෂ්‍ය ණය උගුලේ පැටලී ලොව පුරා රටවලින් සිසුන්ගේ සියදිවි නසාගැනීම් වාර්තා වෙයි. නිරුවත් ඡායාරූප ඇපයට තබාගනිමින් ණය ලබාදෙන ආයතන, ශිෂ්‍ය ණය අහෝසි කරන ලෙස එංගලන්තය, නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු රටවල් ගණනාවක ශිෂ්‍ය අරගල, ගුරුවරුන්ගේ අරගල සිදුවෙමින් තිබෙයි. ලොව පුරා රට රටවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාලකයින්ට බල කරමින් කියන්නේ අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරන ලෙස නොව නිදහස් අධ්‍යාපනය ලබා දෙන ලෙසයි. ඒ අනුව ලෝකයේ නූතන ප්‍රවනතාව යනු නිදහස් අධ්‍යාපනය මිස වසර 40 ක් තිස්සේ අසාර්ථක වූ පෞද්ගලික අධ්‍යාපනය නොවේ.
අධ්‍යාපන මනෝ විද්‍යාවේ මූලික මූලධර්ම අනුව ජාති, ආගම්, කුලමල, දුප්පත්, පොහොසත් කිසිඳු භේදයකින් තොරව සියලු සිසුන්ට අධ්‍යාපනයේ සම ප්‍රවේශය තිබිය යුතුය. යුනෙස්කෝ ආයතනය පවා පිළිගත් මූලධර්මය එයයි. පංති කාමරය, දේශන ශාලාව ඇති නැති පරතරය අනුව වෙනස් විය යුතු නැත. නමුත් මෙරට පාලකයන්ට අනුව අධ්‍යාපනය එලෙස වෙනස් විය යුතුය. මුදල් තියෙන අයට මුදල් ගෙවා ඉගෙනගන්න නිදහසක් තිබෙන්න ඕනෑ’යි පැවසීමේ යටි අරුත එයයි. වසංගතයත් සමඟ ගෙවුණු පසුගිය වසර දෙක පිලිබඳව රුහුණ විශ්වවිද්‍යාලය විසින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් අනුව මෙරට ජනගහනයෙන් 52% ක පිරිසකගේ ආදායම් ඍජුව අඩු වී තිබේ. 46% ක පිරිසකගේ ආදායම් ඍජුව අඩු නොවූවත් භාණ්ඩ හා සේවා මිල වැඩි වීම නිසා ඔවුන් ලබන ආදායමේ මූර්ත අගය අඩු වී තිබේ. මේ කොටස් දෙකේම එකතුව 98% ක් වන අතර ජනගහනයෙන් එපමණ පිරිසකගේ ජීවන තත්ත්වයන් කඩාවැටී තිබේ. වසංගතයත් සමඟ ගෙවුණු වසර දෙක තුළ ආදායම් වැඩි වී ඇත්තේ ජනගහණයෙන් 02% ක පිරිසකගේ පමණි. මුදල් ගෙවා ඉගෙනගත හැකි එවැනි 02% ක පිරිසක් රට තුළ සිටින අතර ආණ්ඩුව පවසන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවයි. නමුත් අනෙකුත් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී ඔවුන් ඒවාටත් වැඩිපුර ගෙවන්න ඕනෑ’යි කිසිවෙක් කියන්නේ නැත. මෙය ඇති නැති පරතරය පිළිබඳ ප්‍රශ්නයක් වන අතර එය විසඳිය හැක්කේ හැකියාව ඇත්තන්ට මුදල් ගෙවා ඉගෙනගත හැකි ලෙස අධ්‍යාපනය වෙනස් කිරීමෙන් නොව ආර්ථික ක්‍ෂේත්‍රයේ සිදුකරන වෙනස්කම් මගිනි. පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා සේ ආණ්ඩුව ආර්ථිකයේ සිදු කළ යුතු වෙනස්කම් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදුකරන්නට සැරසෙයි.
රජයේ ප්‍රධාන ආදායම ජනතාවගෙන් අය කරන බදු මුදල් වන අතර එයිනුත් 85% ක් භාණ්ඩ හා සේවා මත අය කරන වක්‍ර බදුය. නැතහොත් හාල් කිලෝ එකෙන්, පරිප්පු සීයෙන්, සීනි පනහෙන් අය කරන බදුය. ජනගහනයෙන් අඩු ආදායම් ලබන 98% ක් මත සමස්ත බදු බරම පටවා තිබේ. 2020 වසර තුළ ලංකාවේ වැඩිපුරම ලාභ ඉපයූ සමාගම් 10 එම වසරේදී උපයාගත් සමස්ත ලාභය ආසන්න වශයෙන් රුපියල් බිලියන 380 කි. ඔවුන් විසින් 2020 වසරේ නොගෙවා පැහැර හරින ලද බදු පමණක් රුපියල් කෝටි දසදහස් පන්සීයකි. කොවිඩ් තුරන් කිරීමට ජනතාවගෙන් මුදල් එකතු කර සැකසූ ඉටුකම අරමුදලට ලැබුණේත් රුපියල් බිලියන 1.7ක් පමණි. මුදල් ඇමතිවරයා පසුගිය දිනෙක නව පනතක් ගැසට් කරමින් මහපරිමාණ සමාගම් විසින් නොගෙවා පැහැර හරින ලද බදු මුදලින් 1% ක් පමණක් රජයට ලබාදෙන ලෙසත් 99% ක් කපා හරින බවත් දැනුම් දෙන ලදී. කළ යුත්තේ අධික ලාභ ලබන, මුදල් ගෙවා දරුවන්ට අධ්‍යාපනය ලබාදිය හැකි මෙම ධන කුවේරයන්ගෙන් වැඩිපුර බදු අය කර ඒවා අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ජනතා සුබසාධනයට වෙන් කිරීමයි. ගුණාත්මක අධ්‍යාපන සේවාවක් වෙනුවෙන් එම මුදල් වෙන් වන විට මුදල් ගෙවා ඉගෙනගැනීමට කිසිවෙකුට අමුතුවෙන් අවශ්‍ය වන්නේ නැත. අධ්‍යාපනයේ සම ප්‍රවේශය නම් ලෝක සම්මත මූලික මූලධර්මය ද ආරක්ෂා වනු ඇත. එවිට වක්‍ර බදු අඩු කිරීමද සිදු කළ හැකි අතර එමගින් ජනතාවගේ ජීවන මට්ටම් ද සාපේක්ෂව ඉහළ දැමිය හැකි වෙයි. නමුත් වැඩිපුර බදු අය කිරීම තබා නොගෙවා පැහැර හරින ලද බදු අයකර ගැනීමටවත් උවමනාවක් නැති රජයක් මුදල් ඇති අයට මුදල් ගෙවා ඉගෙනගන්න දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලමින් සිටියි. ආර්ථිකයේ ප්‍රශ්නවලට අධ්‍යාපනයෙන් උත්තර හොයන මේ සිල්ලර අදහස් අධ්‍යාපනය පිළිබඳ මූලික මූලධර්ම පිළිබඳවවත් නිවැරදි වැටහීමක් තොරව පවසන අමනෝඥ වාගාලාපයන්ය.
මෙරට මුදල් පිටරට යන්නේ අධ්‍යාපනය ලැබීමට වසරකට සිසුන් කිහිප දෙනෙක් විදෙස්ගත වන නිසා නොවේ. රටේ භූමි ප්‍රමාණය මෙන් පස් ගුණයක් විශාල මුහුදක් තබාගෙන පරිභෝජනයට මාලු ගෙන්වන්නේ පිටරටිනි. 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුහුදු ආහාර ආනයනයට රජය ඇ.ඩො. මිලියන 92.0 ක් වියදම් කර තිබේ. ප්‍රධාන බෝගයක් ලෙස වී වගා කරන කෘෂිකාර්මික රටක් වන මෙරට ජනතාවගේ පරිභෝජනයට සහල් ගෙන්වන්නේ චීනය, පාකිස්ථානය, ඉන්දියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවලිනි. සීනි හා රසකැවිලි ආනයනය කිරීමට 2021 ජනවාරි සිට සැප්තැම්බර් වන විට ඇ.ඩො. මිලියන 214.7 ක් වියදම් කර තිබේ. චීනයෙන් ආනයනය කරන බව පැවසූ කාබනික පොහොර සඳහා නිකරුනේ ඩොලර් මිලියන 6.7 ක් දින කිහිපයකට පෙර ගෙවා දමන ලදී. රටේ ඩොලර් පිටරට යන්නේ සිසුන් විදෙස්ගතවීම නිසා වන බවට පදනම් විරහිත තර්ක ඉදිරිපත් කරන්නන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. විදේශ විනිමය සහ ආර්ථික අර්බූදය ඉගෙනගැනීම සඳහා පිටරට යන සිසුන් නිසා සිදුවන්නක් බවට අසත්‍ය මතයක් සමාජය තුළ පැල කරන්නට ජනාධිපතිවරයා සහ ඔහුගේ වන්දිභට්ටයන් කටයුතු කරමින් සිටින්නේ මෙවැනි අනවශ්‍ය වියදම් පිළිබඳව වගේ වගක් නැති ගානටය.
උසස්පෙළ විභාගයෙන් සමත්ව වසරක් පාසා ලක්ෂ දෙකකට ආසන්න සිසුන් පිරිසක් උසස් අධ්‍යාපනයට සුදුසුකම් සපුරයි. 2020 වසරේ උසස්පෙළ සමත් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 194,297 කි. නමුත් මෙම පිරිසෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 40,000 ට ආසන්න ඉතා කුඩා ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි. මෙය අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ පවතින අතිශය බරපතල ගැටලුවකි. නමුත් ඒ සඳහා විසඳුම් සෙවීම මැතිවරණ පොරොන්දුවලට පමණක් සීමා වී තිබේ. වත්මන් ආණ්ඩුවත් මැතිවරණ වේදිකාවේදී පැවසූවේ උසස්පෙළ සමත් සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අවස්ථා ලබා දෙන බවත් ඒ සඳහා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන බවත්ය. මැතිවරණ වේදිකාවල නම් මේ කිසිවෙක් අපි බලයට පත් වූ පසු පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කරනවා යැයි කීවේ නැත. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද එවැනි සටහනක් නැත. නමුත් බලයට පත් වූ වහාම පාලකයන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිවල ‘නිදහස්’ යන්න හැලී යාම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එවිට පවසන්නේ විශ්වවිද්‍යාල අවස්ථා අහිමි වූ අයට විකල්පයක් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදි කරන බවයි. වත්මන් ආණ්ඩුවත් දැන් ගසමින් ඉන්නේ ඒ සුපුරුදු රබන් පදයමය. නමුත් අපි ආණ්ඩුවෙන් හා ආණ්ඩුවේ ප්‍රශස්ති ගයන්නන්ගෙන් විමසන්නේ විශ්වවිද්‍යාල වරම් නොලැබූ මේ උසස් පෙළ සමතුන් කීදෙනෙකුට රුපියල් කෝටි ගණන් වියදම් කර උපාධියක් මිලදීගත හැකිද යන්නයි. උදාහරණයක් ලෙස යහපාලන ආණ්ඩුව සමයේ ආසිරි රෝහල් සමූහය හා ඒකාබද්ධව මෙරට ආරම්භ කරන්නට සැරසුණු ඇබර්ඩීන් ආයතනයේ වෛද්‍ය උපාධියක් ලබාගත හැක්කේ රුපියල් කෝටි 06 ක් වියදම් කළ හැකි සිසුන්ටය. සයිටම් හොර උපාධි කඩයේ වෛද්‍ය උපාධිය ලක්ෂ 120 කි. මෙවන් මුදලක් ගෙවා උපාධියක් හැදෑරිය හැක්කේ උසස්පෙළ සමතුන්ගෙන් කීයෙන් කීදෙනෙක්ටද යන්න ආණ්ඩුව සහ ආණ්ඩුවට කත් අදින්නන් විසින් හෙලිදරව් කළ යුතුය. ඉතාම පැහැදිලිව කිව හැක්කේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට නොවන බවයි. සියලු උසස් පෙළ සමතුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට නම් ඒ සඳහා තිබෙන උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය තව කිහිප ගුණයකින් පුළුල් කළ යුතුය. ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන රජය අධ්‍යාපනයට වෙන් කළ යුතුය. නමුත් වසරින් වසර අධ්‍යාපනයට වෙන් කෙරෙන සොච්චම් මුදල් ප්‍රමාණයත් කප්පාදු කරනවා විනා වැඩි කිරීමක් සිදුවන්නේ නැත. අධ්‍යාපනයට දල දේශීය නිශ්පාදනයෙන් 06% ක් වෙන් කරන ලෙස සිසුන්, ආචාර්යවරුන් සහ සමාජයේ ප්‍රගතිශීලී කොටස් දිගින් දිගටම ඉල්ලන්නේ මෙම අවශ්‍යතාව සපුරාගැනීමටය. දල දේශීය නිශ්පාදනයෙන් අවම 06% ක් අධ්‍යාපනයට වෙන් කළ යුතු බව ලෝක සම්මතයයි. අපට පෞද්ගලික අධ්‍යාපනය ලෝක සම්මතයක්යැයි කියමින් බණ දේශනා කරන කිසිවෙක් ඒ ලෝක සම්මතයන් ගැන කිසිඳු කතාබහක් නැත. මෙවර අයවැයෙන් අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදනයෙන් 7.5% ක් වෙන් කළ බව ලංකාදීප කතුවැකියේ සඳහන් කර තිබිණි. එවැන්නක් මුදල් අමාත්‍යවරයාවත් පැවසූවේ නැත. ඔහු පැවසූවේ අයවැයෙන් 7.5% ක් වෙන් කළ බවයි. දල දේශීය නිශ්පාදනයෙන් මෙවර අධ්‍යාපනයට වෙන් කර තිබෙන්නේ 0.09% ක් පමණි.
ජනාධිපතිවරයා පවසන පරිදි පෞද්ගලික අධ්‍යාපනයට එරෙහි වන්නන් ජාතික අපරාධකරුන් සේ සැලකිය යුතුය. ජාතික අපරාධයක් වන්නේ ජනගහනයෙන් 98% කගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කිරීම නොවේ. එය මේ මොහොතේ කළ යුතු ජනතා සේවයකි. අපරාධය වන්නේ ජනගහනයෙන් 02% ක් පමණ සුළු පිරිසකගේ වරප්‍රසාදයන් වෙනුවෙන් 98% කට සම ප්‍රවේශය අහෝසි කරමින් අධ්‍යාපනය විකිණීමට, කප්පාදු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කිරීමයි. සැබෑ අපරාධකරුවන් වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු ජනතා අයිතීන් විකිණීමට, වරාය - ඉඩම් - ගුවන්තොටුපොළවල් - ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට කටයුතු කරන දේශපාලන තන්ත්‍රය හා ඔවුන්ගේ ප්‍රශස්ති ගායකයන්ය. එහෙයින් ජනතා අයිතීන් - පොදු දේපල විකුණන ජාතික අපරාධකාරයන්ට එරෙහිව සියලු ජනතාව ඒකරාශී වී විරෝධය දැක්විය යුතු බව අප යෝජනා කරමු.
(2021.12.14 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසිනි)
No comments:
Post a Comment