Thursday, September 17, 2020

පංති තහනම් ඉවත් කරනු! කැලණිය සිසුන් යූ.ජී.සියට...


කැලණිය සරසවියේ සිසුන් 27 දෙනෙකුට ලබා දී ඇති පංති තහනම් වහා ඉවත් කරන ලෙසත්, අධ්‍යයන සුබසාධන ගැටලුවලට විසඳුම් දෙන ලෙසත්, පරිගණක හා තාක්ෂණ පීඨයේ සිසුන්ගේ විභාග අයිතිය තහවුරු කරන ලෙසත්, ගැටලු විසඳනවා වෙනුවට CCTV සවි කරමින් සිදු කරන මර්දනය නවත්වන ලෙසත් බල කරමින් අද කැලණිය මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පා ගමනින් පැමිණි අතර මේ සඳහා සිසුන් දහසකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ විය. සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රය තුළට ඇතුළු වී සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එය විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ඒ අනුව කොමිෂන් සභා පරිශ්‍රය තුළම විරෝධතා රැලියක් පවත්වා උද්ඝෝෂණය අවසන් කළ අතර කලා කරුවන්, වෘත්තී සමිති, බහුජන සංවිධාන, මාධ්‍ය ආයතන දැනුවත් කරමින් අරගලය ඉදිරියට මෙහෙයවන බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම පිළිතුරු දීමට අසමත් නම් විෂයභාර ඇමති, අගමැති, ජනපති දක්වාම විසඳුම් ඉල්ලා පැමිණෙන බවත් එහිදී අදහස් පල විය.

සිසු නිදහසට බාධා වන අයුරින් සවි කර තිබූ CCTV කැමරා ගලවා පරිපාලනයට භාරදීම හේතුවෙන් කැලණිය සරසවියේ සිසුන් 27 දෙනෙකුට අදාළව මෙම පංති තහනම් ලබා දී තිබේ.  පවතින නේවාසිකාගාර හිඟය, පානීය ජල හිඟය, වෛද්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් නොමැතිවීම ඇතුළු අධ්‍යයන සුබසාධන ගැටලු සඳහා විසඳුම් දීමට මුදල් නොමැති බව කීමත් CCTV කැමරා සවි කිරීමට මුදල් තිබීමත් සිසුන් ප්‍රශ්න කළ කරුණ වූ අතර කැමරා ගලවා පරිපාලනයට භාර දෙන්නේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට තරම්වත් පරිපාලනය නිහතමානී නොවීම හේතුවෙනි. එයින් විශ්වවිද්‍යාලයට ලක්ෂ 26ක පාඩුවක් සිදු වූ බවත්, පොදු දේපල විනාශ කළ බවත් කියමින් පරිපාලනය සිසුන්ට එරෙහිව නඩු පැවරූ අතර සිසුන් සය දෙනෙක් අත්තඩංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් (දින 25ක්) සිරගත කරනු ලැබිණි. සිසුන් 27 දෙනාටම එරෙහිව මේ වනවිටත් නඩුව ක්‍රියාත්මක වේ. දැන් එම සිසුන් 27 දෙනාටම තාවකාලික පංති තහනම් ලබාදී ඇති අතර විනය පරීක්ෂණ පවත්වා පාලක සභාව තීරණය කර ඇති දඬුවම් පිළිබඳව සිසුන්ට ශිෂ්‍යභාවය අහෝසි කරන ලිපි ලබාදීමට නියමිතය. එය තවමත් ප්‍රමාද වී ඇත්තේ ඉහළ දේශපාලන මැදිහත්වීම් මත තීරණය කර ඇති දඬුවම් පිළිබඳව අභ්‍යන්තර විරෝධයක් පැවතීම හේතුවෙනි. කරුණු වාර්තා වන පරිදි ජීවිතාන්තය දක්වා සිසු නායකයන් කිහිප දෙනෙක් ශිෂ්‍යභාවය ⁣අහෝසි කිරීම්වලට ලක් කිරීමට තීරණය වී ඇති අතර එය අසාධාරණ බවට ආචාර්යවරුන් පිරිසක් විරෝධය දක්වා ඇත.

CCTV සවි කිරීම, විශ්වවිද්‍යාලවලට රජයේ ඔත්තුකරුවන් ඇතුළත් කිරීම, සිසු නායකයන්ගේ පංති තහනම් කිරීම ඇතුළුව දැවැන්ත මර්දන වැඩපිළිවෙළක් මේ වනවිට විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. පොදුවේ මෙම මර්දනය විශ්වවිද්‍යාල සිසුන් සඳහා පමණක් සිදුවන්නක් නොවන අතර නියත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දැවැන්ත අනතුරක් ජනතාව ඉදිරියේ පවතියි. රටපුරා CCTV රජය මැදිහත්ව සවි කිරීම, ඔත්තු සේවා හරහා තොරතුරු ලබාගැනීම, විද්‍යුත් හැඳුනුම්පත, 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළක් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින අතර අධිකාරීවාදී, ඒකාධිපති රාජ්‍ය ත්‍රස්තවාදයකට අයිතීන් වෙනුවෙන් අරගල කරන සියලු දෙනාටම ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇත. එහෙයින් මෙම අරගලය කැලණිය සරසවියෙන් හෝ විශ්වවිද්‍යාල මට්ටමින් අවසන් නොවිය යුතු අතර මර්දනයට, රාජ්‍ය අත්තනෝමතිකත්වයට එරෙහිව සියලු ජනතාව වීදි බැසිය යුතුය.














No comments:

Post a Comment