පසුගිය සමය වන විට කැලණිය විශ්වවිද්‍යාලය තුල විශාල වූ අධ්‍යයන සුබසාධන ගැටලු රාශියක් උද්ගතව පැවතුනි. අද වන විටත් එම ගැටලු සදහා විසඳුම් සෙවීම සඳහා පාලනාධිකාරිය අපොහොසත් වී ඇති අතර ඒ පිළිබඳව පාලනාධිකාරියේ උත්තරය වූයේ මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවයි. නමුත් ශිෂ්‍යයන් ගේ ආරක්ෂාව මුවාවෙන් මර්දනය කිරීම උදෙසා වූ වැඩ පිළිවෙලට අදාළව නම් එබදු අර්බුදයක් නොවීය. තවද උද්ගත තත්ත්වය හමුවේ මේ වන විට සිසුන් සඳහා උග්‍ර මර්දනයක් කැඳවීමට කටයුතු කරමින් සිටී.
ඒ අනුව 2020.02.07 වන දින නේවාසිකාගාර අර්බුදය හා සුබ සාධන ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට උපකුලපතිවරයා සමඟ අවස්ථාවක් ලබාදෙන මෙන් ශිෂ්‍ය සංගමය විසින් ලිපියක් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම ආරක්ෂක කැමරා සවිකිරීම සම්බන්ධව සිසුන් විරුද්ධ බව පවසා 2020.02.12 වන දින පාලනාධිකාරිය දැනුවත් කර තිබේ. එයට පිළිතුරු නොමැති විට නැවතත්, ඇතිව ඇති ගැටලු සම්බන්ධව දීර්ඝ විස්තරයක් ද සහිතව, උපකුලපතිවරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් සලසා දෙන ලෙස 2020.02.13 වන දින ලිඛිතව පරිපාලනය දැනුවත් කර ඇත.
ඒ අනුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධති ගලවා විනාශ කරේය යන අසත්‍ය චෝදනා නගමින් මේ වන විට සිසුන් 27 කු සඳහා පංති තහනම් පනවා ඇති අතර ඊට අමතරව 2018 වර්ෂයේ දී තාක්ෂණ පීඨයේ ආරක්ෂක කැමරා සවිකිරීමට සැරසුන අවස්ථාවේදී ඊට විරුද්ධ ක්‍රියා කළ බවට පවසමින් සිසුන් 04 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට, උපාධි ප්‍රධාන උත්සව තහනම් කිරීමට ද තවත් සිසුන් දෙදෙනෙකු සඳහා අත්හිටවූ පංති තහනම් ලබාදීමට පරිපාලනය කටයුතු කර ඇත. එයට හේතුව ආරක්ෂක කැමරා සවිකිරීම සම්බන්ධව අවස්ථා ගණනාවකදීම සිසුන් විරෝධය පළකරනු ලැබූ අතර එපමණක් නොව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ද ඉල්ලීම් කරනු ලැබූ නමුත් එයට අවස්ථාවක් ලබා නොදී කටයුතු කිරීම නිසාවෙනි.
එසේම එයටද පිළිතුරු ලබා දීමට කටයුතු නොකළ අතර නැවත වතාවක් සාකච්ඡාවකට අවස්ථාවක් ලබාදෙන මෙන් 2020.02.24 වන දින නැවත සිහි කැඳවීම් ලිපියක් උපකුලපතිවරයා වෙත ඉදිරිපත් කරන්නට විය. නමුත් ඒවාට ද පිළිතුරු නොමැති වූ නිසාවෙන් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට උපකුලපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන මෙන් ඉල්ලා 2020.02.25 වන දින සිසුන් සමඟ පරිපාලනයට යාමට සිදුවූ අතර එම අවස්තාවේදී උපකුලපතිවරයා විශ්වවිද්‍යාලයේ නොසිටි නිසාවෙන් 2020.02.27 වන දින උදේ 09ට උපකුලපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදිය හැකි බව ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හා උපකුලපති කාර්යාල නිලධාරීන් පොරොන්දු විය. නමුත් එදිනද සුපුරුදු පරිදි පරිපාලනය ශිෂ්‍යයන්ගේ ගැටලු වලට විසදුම් දෙනවා වෙනුවට සාකච්ඡා නොදී මගහැර යන්නට විය.
මෙලෙස අවස්ථා ගණනාවකදීම එවකට උපකුලපතිවරයා හා පාලනාධිකාරිය සිසුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් හෝ යොමු කරන ලද ලිපියකට හෝ පිළිතුරු සැපයීමට කටයුතු නොකර ලදී. ඒ වන විට උද්ගතව තිබූ අධ්‍යයන සුභසාධන ගැටලු පිළිබඳව හා ආරක්ෂක කැමරා සවිකිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමට කටයුතු කළේ නම් සිසුන්ට ආරක්ෂක කැමරා ගලවා එලෙස විරෝධය පෑමට සිදු නොවනු ඇත. නමුත් එවකට පරිපාලනය ගැටලු සඳහා පිළිතුරු ලබාදෙනවා වෙනුවට අත්තනෝමතික ලෙස සිසුන් මග හරිමින් මර්දනය ගෙන ඒමට කටයුතු කරන ලදී. පරිපාලනයේ ඒ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා මේ වන විට සිසුන්ට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුව ඇත.
එම නිසාවෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මේ පිළිබඳව වැඩබලන උපකුලපතිවරයා සිටියදී අවස්ථා දෙකකදී සාකච්ඡා කරන ලදී. නමුත් ඊට නිසි විසඳුමක් දීමට ඔවුන් කටයුතු නොකරන ලදී. එම නිසාවෙන් අප පසුගිය ජූලි 29 දින විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ගන්නා ලද අතර ඉන් පසුව මේ පිළිබඳව සියලු ආචාර්යවරුන්, අංශ ප්‍රධානීන් හා පීඨාධිපතිවරුන් සමග සාකච්ඡා කරන ලදී. එහිදී ඔවුන් යම් සාධනීය ප්‍රතිචාරයක් දැක්වූ නමුත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ පිළිබඳව සාධාරණය ඉටු කිරීමට අකමැත්ත පළකරනු ලබයි. එම නිසාවෙන් මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද ලිපියක් මගින් දැනුවත් කරන ලදී.
තත්ත්වය එසේ තිබියදී මේ වන විට පරිගණක හා තාක්ෂණ පීඨයේ හා වාණිජ හා කළමනාකරණ පීඨයේ අවසන් වසර සිසුන් සඳහා විභාග පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති අතර එය ලබන සැප්. 07 දින ආරම්භ වේ. නමුත් පංති තහනම් ලබා දීම හේතුවෙන් පරිගණක හා තාක්ෂණ පීඨයේ සිසුන් 5 දෙනෙකුට හා වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන් 2 දෙනෙකුට විභාග අයිතිය අහිමි කර ඇත. එම නිසාවෙන් සිසුන් ඊට විරෝධය පළකරමින් පසුගිය අගෝ. 24 වන දින දී විශ්වවිද්‍යාලයේ දී උද්ඝෝෂණයක් පවත්වන ලදී. එසේම අගෝ. 27 වන දිනද කිරිබත්ගොඩ නගරයේ සිට විශ්වවිද්‍යාලය වෙත විරෝධතා පා ගමනක් සංවිධානය කරන ලදී. නමුත් පරිපාලනය ඊට විසදුම් දීමට අපොහොසත් වී ඇත.
එබදු මොහොතක මහා ශිෂ්‍ය සංගමය එම සිසුන්ගේ විභාග අයිතිය වෙනුවෙන් නැවත වතාවක් ආචාර්යවරුන් හා අධ්‍යනාංශ ප්‍රධානීන් ද සියලුම පීඨයන්හි පීඨාධිපතිවරුන් සමග මේ පිළිබඳව සාකච්ඡා කළ අතර ඊට අදාළව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ද පසුගිය 03 වන බ්‍රහස්පතින්දා දින සිදු කරන ලදී. එහිදී ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක හිමියන් සමග සාකච්ඡා කරන ලද නමුත් ඒ සම්බන්ධව ඒ හිමියෝ ද මුණිවත රකිමින් සුපුරුදු පරිදි බෝලෙ පාස් කරන්නට විය.
කෙසේ නමුත් පරිපාලනය විසින් ගෙන යනු ලබන මෙම අත්තනෝමතික මර්දනය හේතුවෙන් මේ වන විට සිසුන් 7 දෙනෙකු සදහා තම විභාග අයිතිය අහිමි කර ඇතිවා පමණක් නොව සිසුන් 31 දෙනෙකුගේ ජීවිත බිල්ලට ගෙන ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය උදුරාගෙන ඇත. කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරන්නේ මෙම මර්දනයට එරෙහිව හා සිසුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අඛණ්ඩව සටන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
No comments:
Post a Comment