Wednesday, September 2, 2020

ආචාර්ය - සිසු විරෝධය නොතකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කරයි !


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කරගැනීමේදී සලකා බලන ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙය මැතිවරණයට පෙරද සිදු කිරීමට උත්සාහ කළ අතර ආචාර්යවරුන් සහ සිසුන් විසින් දැක්වූ විරෝධය හේතුවෙන් එය අත්හිටුවන ලදී. හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග ආචාර්යවරුන් සහ සිසුන් එක්ව පැවති සාකච්ඡාවේදී වසර දෙකක් යනතුරු දැනට ක්‍රියාත්මක වන සාමාන්‍ය ක්‍රමවේදය යටතේ සිසුන් බඳවාගැනීමටත්, ආචාර්යවරුන් ඇතුළු කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කොට ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කිරීම සුදුසු ද නැතිද යන්න පිළිබඳ තීරණය කරන බවත් පවසන ලදී. නමුත් මැතිවරණය අවසන් වූ වහාම ඒ කිසිවක් නොමැතිව ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කළ බව කියමින් මාධ්‍ය හමු පවත්වා දැනුම් දෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තීන්දු තීරණ ගනු ලබන්නේ සම්පත් අමරතුංග පවත්වන මාධ්‍ය හමු තුළදීද යන්න සැක සහිතය. ආචාර්යවරුන් සමඟ හෝ කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් සමඟ හෝ කිසිඳු සාකච්ඡාවක්, අදහස් විමසීමක් නොකර හිටිවනම අත්තනෝමතික තීරණ මාධ්‍ය හරහා දැනුම්දීම සිදු කරයි. 

ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කිරීම පමණක් නොව නැවත විශ්වවිද්‍යාල ආරම්භ කිරීම, විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම වැනි කරුණුවලදීත් තීන්දු තීරණ ගත්තේ අත්තනෝමතිකවය. ආණ්ඩුවට ජනතාවගෙන් ලැබුණු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරන්නේ තමන්ට අවශ්‍ය ප්‍රතිපත්ති අත්තනෝමතික ක්‍රියාත්මක කිරීම සඳහාය. පෙර පැවසූවේ ප්‍රායෝගික පරීක්ෂණ තුළින් අක්‍රමිකතා සිදුවන බව හා වැඩි Z ලකුණු ගත් සිසුන් අසාධාරණයට පත්වන බවය. නමුත් අක්‍රමිකතා සිදුවන්නේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම නිසා නොවන බවත්, සෞන්දර්ය විෂයයන් සඳහා Z ලකුණ පමණක් ප්‍රමාණවත් නොවන බවත් සිසුන් විසින් පෙන්වා දෙන ලදී. දැන් බඳවාගැනීම් කිරීමේදී කල්ගත වන බව කියමින් ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කර තිබේ. කන්නට ඕනෑ වූ විට කබරගොයත් තලගොයා කරගැනීමට ආණ්ඩුවත් ආණ්ඩුවේ කුණු අතුගාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් ඉතා දක්ෂය. බඳවාගැනීම් කිරීමේදී කල්ගත වීම විසඳාගත යුතු තාක්ෂණික ගැටලුවක් මිස ප්‍රායෝගික පරීක්ෂණවල ගැටලුවක් නොවේ. ප්‍රායෝගික පරීක්ෂණය දෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලන්නේ 'කොහොම වුණත් මං ⁣තෝව කනවා'යි කී වෘක න්‍යායෙනි. මේ පිළිබඳව සිසුන්, ආචාර්යවරුන් මෙන්ම සෞන්දර්ය කලාවන්ට ආදරය කරන සියල්ලන්ගේ අවදානය යොමු විය යුතුය. අත්තනෝමතිකව සිදුකරන මෙම තක්කඩි ප්‍රතිපත්තිවලට එරෙහිව පෙළ ගැසිය යුතුය විරෝධය දැක්විය යුතුය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය


No comments:

Post a Comment