Wednesday, August 26, 2020

ආසිරි - ඇබර්ඩීන් ගැන ආණ්ඩුව අඳ, ගොළු, බිහිරි ප්‍රතිපත්තියක


අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීමට ගෙන එන ආසිරි - ඇබර්ඩීන් උපාධි කඩයට විරෝධය පල කරමින් හා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලමින් අද දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කරන ලද ලිපිය

සභාපතිතුමා,

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,

වොර්ඞ් පෙදෙස,

කොළඹ 07.

2020.08.26

සභාපතිතුමනි,

අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීමට ගෙන එන ආසිරි - ඇබර්ඩීන් උපාධි කඩය සම්බන්ධවයි.

Soflogic සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආසිරි පෞද්ගලික රෝහල් සමූහය විසින් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයත් සමඟ 2018 වසරේදී ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ Sri Lankan Pathway ලෙස නම් කළ වැඩපිළිවෙලක් හරහා වෛද්‍ය උපාධිය අළෙවි කිරීම සඳහාය. ඒ අනුව වසර තුනක් ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය තුළත් වසර දෙකක් මෙරට ආසිරි රෝහල් තුළ සායනික පුහුණුව ලබාදීම තුළිනුත් එම උපාධිය සම්පූර්ණ කරනු ලබයි. ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයට අයත් වෙබ් අඩවියේ පල කර ඇති ප්‍රචාරක දැන්වීම් අනුව එහි අරමුණ ශ්‍රී ලංකාවේ වෛද්‍ය හිඟයට පිළියම් යෙදීම හා මෙරටදීම දැරිය හැකි මිලකට වෛද්‍ය උපාධියක් ලබා දීමය. දැරිය හැකි මිල රුපියල් කෝටි 3.6 කි. ආසිරි රෝහල් සමූහයේ විධායක නිලධාරීවරයකු වන මංජුල කරුණාරත්න මහතා 2017/2018 වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් පවසා තිබුණේ මෙම වැඩපිළිවෙල තුළින් ආසිරි රෝහල් මෙරට පළමු පෞද්ගලික ශික්ෂණ රෝහල් බවට පත් කළ හැකි බවයි.

බැලූ බැල්මටම මෙය අධ්‍යාපනය හා සෞඛ්‍ය පිළිබඳව ජනතාවට ඇති අයිතිය වෙළඳපොලට කැඳවන තවත් එක් නියමු ව්‍යාපෘතියක් වන බව පැහැදිලිය. මෙයට පෙර මාලඹේ SAITM ආයතනය හරහා උත්සාහ කෙරුණේ ද එවැනි ඉලක්කයක් සපුරාගැනීමය. එය වැළකී ගියේ දැවැන්ත ජනතා අරගලයක් පැන නැගීම තුළිනි. අධ්‍යාපනය හා සෞඛ්‍ය අයිතීන් ජනතාව සතු වන අතර ඒවා වෙළඳපොලට විවෘත කිරීමෙන් සිදුවන්නේ ජනතාවට එම අයිතීන් අසන්තක වීමය. මිලදී ගැනීමේ හැකියාව මත ජනතාවට ඒවා ලැබෙන්නේද නොලැබෙන්නේ ද යන්න තීරණය වීමය. එය සිදුවිය යුත්තක් නොවේ.

මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාගැනීම සඳහා අප මින් පෙර අවස්ථා කිහිපයකදීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපි යොමු කර තිබේ. නමුත් මේ වන තෙක් ඒ පිළිබඳව සලකාබැලීමක් සිදු කෙරුණේ නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ජූනි මස 26 දින කැඳවූ එහි මාසික සභාවාරයේදී ආසිරි ඇබර්ඩීන් හවුල් උපාධිය සඳහා පිළිගැනීම ලබා නොදෙන බව තීරණය කොට තිබෙන අතර ඒ පිළිබඳව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක්ද පල කරන ලදී. වෛද්‍ය සභාව එවැනි දැන්වීමක් පල කර තිබියදීත් එය නොසලකා ඇබර්ඩීන් වෙබ් අඩවිය Sri Lankan Pathway වැඩපිළිවෙල පිළිබඳව අඛණ්ඩව ප්‍රචාරණ කටයුතුවල නිරත වෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද එය දැක්කා නොදැක්කා සේ අඳ, ගොලු, බිහිරි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එහෙයින් දැන්වත් නිහඬතාවය බිඳ මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ථාවරය කුමක්ද යන්න ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ යුතුය. එය අවධාරණය කරන අතරම මෙම ගැටලුව සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටිමු.

මෙයට,

රත්කරව්වේ ජිනරතන හිමි,

කැඳවුම්කරු,

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.




No comments:

Post a Comment