Thursday, May 6, 2021

අනුරාධපුර භික්ෂු සරසවි භුමිය කොල්ලකෑමට ආණ්ඩුව යළිත් සැරසෙයි...

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය සතුව පවතින නන්දන මාවතෙහි පිහිටි ගොඩනැඟිලි හා එම පරිශ්‍රය විශ්වවිද්‍යාල අයිතියෙන් ඉවත් කර අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති යටතට  පවරා දීමට අණ්ඩුව පවා දැවැන්ත උත්සහයක යෙදී සිටියේය.ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යරු හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විරුද්ධ වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා විසින් ලිපියක් මඟින් එම පරිශ්‍රය අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා යටතට පත් කරන ලෙස  විශ්වවිද්‍යාලයට දැනුම් දී තිබුණි.

1996  අංක 26 දරණ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනත මඟින් විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පෙර 1969 වර්ෂයේදී බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය ආරම්භ කළ පැරණිතම ගොඩනැඟිලි පරිශ්‍රය ද මෙය විය. මේ වනවිට එම භූමිය විශ්වවිද්‍යාල ආචාර්යරු තම නේවාසිකාගාර සඳහාත්, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අධ්‍යයන කටයුතු සඳහාත්, අනෙකුත් විශ්වවිද්‍යාල අවශ්‍යතා සඳහා යොදා ගන්නා වූ ප්‍රයෝජනවත් ස්ථානයකි.

2020.6.26 දින අංක HE/UD/10/01/148/-vol 01 ලිපියට අනුව භික්ෂු විශ්වවිද්‍යාලය සතු නන්දන මාවත පරිශ්‍රයේ භාවිතයට නොගන්නා ගොඩනැඟිලි ආදිය රුවන්වැලි සෑ චෛත්‍යාරාම විහාරාධිපති හිමිගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා ලබා දෙන ලෙස දන්වා ඇත.මෙසේ විවිධ මුහුණවරයන් හරහා වරින්වර මෙම විශ්වවිද්‍යාල භූමිය කොල්ල කෑම සඳහා පෙර සිටම කූඨ උපක්‍රම ගෙන ආ අයුරු දක්නට තිබුණි. 2005 වර්ෂයේදී ද මෙම පරිශ්‍රය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරන ලෙසට එවකට පැවති ආණ්ඩුවලින්ම ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

බලයට පත් වත්මන් ආණ්ඩුව ද විවිධ අවස්ථාවන්හීදී විශ්වවිද්‍යාලවලට අයිති ඉඩම් පුද්ගලික අංශවලට හෝ වෙනත් කටයුතුවලට යොදා ගැනීමේ උත්සහයක යෙදී සිටින අයුරු අපට දැක ගන්නට ලැබුණි. කොළඹ විශ්වවිද්‍යාලයට අයිති මුත්තයියා කාන්තා නේවාසිකාගාරය ද මෑතකදී සිසු අයිතියෙන් උදුරා ගැනීමට උත්සහ ගත් විට දී ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අප එයටද විරුද්ධ විය. මේ එන්නේ අන් කිසිවක් නොව අමු අමුවේම මහ දවල් විශ්වවිද්‍යාල සතු ඉඩම් කොල්ල කෑමේ ක්‍රියා පිළිවෙතකි.

මෙම ආණ්ඩු බලයට එන විට පුනපුනා කියා සිටියේ අධ්‍යාපනය, උසස් අධ්‍යාපන අංශ හැකිතාක්  දියුණු කිරීම, ඒ සඳහා ශිෂ්‍ය බඳවා ගැනීම් පුලුල් කිරීම තම රාජ්‍ය ප්‍රතිපත්තිය බවය. නමුත් බලයට පැමිණීමෙන් පසුව විශ්වවිද්‍යාල අංශයට සිදු කර ඇති වැඩ ගැන බැලූ විට පෙනෙන්නට ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. විශ්වවිද්‍යාල සතු ඉඩම් උදුරාගැනීම, ඒවා පෞද්ගලික සුඛ විහරණයන් සදාහා යෝදා ගැනීම ආදිය දැන් රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇති බවක් පෙනෙන්නට ඇත. කාලයක සිටම අපට දකින්නට ඇති අද්දැකීම වන්නේ සෑම ආණ්ඩුවකින්ම පාහේ බලයට පැමිණ විවිධ  මුහුණවරයන් හරහා ශාස්ත්‍රීය විශයන් විශ්වවිද්‍යාලවලින් කප්පාදු කර දමන ආකාරයකි. අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය ද ශාස්ත්‍රීය විශයන් සඳහා වූ තෝතැන්නකි. එහි ඇති ඉඩම් ටික කොල්ල කෑමට උත්සහ දැරීමෙන් පෙනී යන්නේ මේ ආණ්ඩුව ද ශාස්ත්‍රීය අධ්‍යාපන දියුණු කරනවා වෙනුවට ඒ අංශ තවතවත් වල පල්ලට ඇද දැමීමට උත්සහයක  නිරතව සිටින බවක් ය.

මෙම භූමිය ගැනීමට දැරූ ප්‍රයත්න පැමිණි විරෝධතා හේතුවෙන් කාලයක් නතර කර තිබුණි. නමුත් මීට දින කීපයකට පෙර වසංගතය අස්සේම ඉන් කොටසක් හෝ දැනට ගැනීමේ අරමුනින් නැවතත් පූජා නගර සංවර්ධනය කමිටුව ඇතුලු පිරිස මැදිහත් වී ඇත. විශ්වවිද්‍යාලයක් සඳහා වෙන් කළ භූමියක්, එනම් රට තුල ඇති ජාතික සම්පත් මෙලෙස හිතුමතේ පෞද්ගලික සුඛ විහරණය සඳහා හෝ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට කිසිම අයුරකින්වත් ඉඩ තැබිය නොහැකිය. අත්තනෝමතිකව සිදුකරන මෙම කටයුත්ත වහාම නතර කරන ලෙසට බල කර කියා සිටින අතර එසේ නොමැතිනම් නිදහස් අධ්‍යාපනය ලබාදෙන මෙබඳු අයාතනවලට අයත් ඉඩම් කොල්ලකෑමට එරෙහිව ක්‍රියාමර්ග ගැනීමට අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානයක් විදියට කිසිසේත්ම පසුබට නොවන බවද මතක් කර සිටිමු.


ගල්වැව සිරිධම්ම හිමි - කැඳවුම්කරු

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය.

No comments:

Post a Comment