Wednesday, September 29, 2021

අන්තරේ අධ්‍යාපන ඇමති හමුවෙයි!



අන්තරේ අධ්‍යාපන ඇමති හමුවෙයි!

අ.වි.ශි.බ.ම ඊයේ (28) අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡාවක් පවත්වන ලදී. සාකච්ඡාව සඳහා ඇමතිවරයාට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අතිරේක ලේකම්වරුන් කිහිප දෙනෙක් සම්බන්ධ විය. සාකච්ඡාවේදී අ.වි.ශි.බ.ම විසින් මූලික කරුණු කිහිපයක් පිළිබඳව ඇමතිවරයාගේ අවදානය යොමු කරවන ලදී. එනම්,

1. කොතලාවල පනත මුළුමනින්ම හකුළාගත යුතු බව.

2. කොතලාවලට සිවිල් සිසුන් බඳවාගැනීම නතර කළ යුතු බව. කොතලාවල වෛද්‍ය පීඨයට බඳවාගැනීමට සැරසෙන සිසුන් සිය දෙනා රජයේ විශ්වවිද්‍යාලවලට බඳවාගත යුතු බව.

3. කොතලාවල පනතට එ⁣රෙහි වූ සිසුජන ක්‍රියාකාරීන් මර්දනය කිරීම නතර කළ යුතු බව.

4. පාසල් හා විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳව. මෙහිදී අප මින් පෙර සකස් කර අමාත්‍යාංශයට භාරදුන් වැඩපිළිවෙළ නැවත භාරදෙන ලදී.

5. රුහුණ, කැලණිය, වයඹ විශ්වවිද්‍යාල තුළ සිදුවන ශිෂ්‍ය මර්දනය පිළිබඳව.

මෙම කරුණු සඳහා අමාත්‍යවරයා විසින් නිශ්චිත පිළිතුරු කිසිවක් ලබාදුන්නේ නැත. කොතලාවල පනත දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත්, ආණ්ඩුව තුළ විවිධ සාකච්ඡා ඒ පිළිබඳව මේ වන විටත් ඇති බවත් සඳහන් කරන ලදී. කොතලාවල මිලිටරි  විශ්වවිද්‍යාලයට සිවිල් සිසුන් බඳවාගැනීම මෙම වසරට අදාළව පමණක් සිදුකරන බව ලේකම්වරයා විසින් පවසන ලද අතර එම ප්‍රතිපාදන රජයේ වෛද්‍ය පීඨ වෙත වෙන් කර සිසුන් සිය දෙනා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට බඳවාගැනීම කළ යුතු බවත් අ.වි.ශි.බ.ම විසින් පෙන්වා දෙන ලදී.   පනතට එරෙහි අරගලයේදී සිරගත කරන ලද සිසුජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් නිදහස් කළ යුතු බව තමන්ගේද ස්ථාවරය බව ඇමතිවරයා සඳහන් කරන ලදී. විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවත්, තවමත් නිශ්චිත කළ වැඩපිළිවෙළක් නොමැති බවත්, හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදහස් කරන බවත් සඳහන් කරන ලදී. මෙහිදී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට නිශ්චිත දින වකවානු පිළිබඳ අදහසක් තිබේදැයි අප විමසූ අතර ඒ පිළිබඳව අදහසක් අමාත්‍යාංශයට කිව නොහැකි විය.  රුහුණ, කැලණිය, වයඹ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය මර්දනය පිළිබඳව කරුණු විමසා බලන බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී නැවත සාකච්ඡා කළ හැකි බවත් අමාත්‍යාවරයා විසින් සඳහන් කරන ලදී.


No comments:

Post a Comment