Saturday, January 30, 2021

පීඨ සංකීර්ණයක් නැති පේරාදෙණියේ කළමනාකරණ පීඨය


වර්තමානය වනවිට මුඑ ලොවම පවතිනුයේ දැවැන්ත අර්බුධකාරී තත්වයකය. එය ඔබ අප සියඑ දෙනා හොඳින් දන්නා කරුණකි. කොරෝනා වසංගතය හමුවේ රටේ ජනතාවගේ සෞඛ්‍ය මෙන්ම ආර්ථික තත්වය ද දැවැන්ත අවධානමකට පත්ව ඇත. එබැවින් මහජනතාවට තම සෞඛ්‍ය අවධානම පසකින් තබා කුසගින්න වෙනුවෙන් සටන් කිරීමට සිදුව ඇත. වසංගත තත්වය නිසා තම රැකියාව අහිමි වෙද්දී දෑතේ සවියෙන් කිරීමට කූලී වැඩක්වත් නොමැති වෙද්දී මිනිසුන් තම අනාගතය පිළිබඳව දකින සිහින පසෙකලා අද දවසේ බත් පත ගැන පමණක් සිතන තත්වයට ඇද වැටෙයි. එවන් අසරණ මොහොතක පාලක සුඛවිහරණය උදෙසා ජනතා බදු මුදල් වෙන්වෙයි. හිනගෑ  නොකා හිඟා කන ජනතාවගේ හාල් ඇටයට පරිප්පු ඇටයට නියමිත පරිදිම බදුු මුදල් එකතු වෙයි. එහෙත් නියමිත පරිදිම එකතු වන බදුු මුදල් නියමිත පරිදි වෙන් වීමක් සිදු නොවේ. ඊට කදිම නිදසුන නම් නිදහස් අධ්‍යාපනය උදෙසා වෙන් කරනු ලබන මුදල ගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 60 කින් කප්පාදු වීමයි. එබැවින් ජනතාව විසින් කුසගින්දර සහ ජීවිත අවධානම සමඟ සටන් වදින වසංගතය, රජයේ වියදම් කප්පාදු කරමින්, රටේ සම්පත් විකුණමින්, තම පසුම්බි පුරවාගැනීමට පාලකයන් විසින් වසන්තයක් බවට පත් කරගෙන හමාරය. එබැවින් ජනතා බදු මුදල් ජනතාව වෙනුවෙන්, රටේ මතු පරපුර වෙනුවෙන්, නිදහස් අධ්‍යාපවය වෙනුවෙන් වෙන් කරගැනීම උදෙසා සටන් කළ යුතුව ඇත. එවන් සටනක අවශ්‍යතාවය මේ වනවිටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට දැඩිව මතුව ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල කළමනාකරණ පීඨය ස්ථාපනය වී දැනට වසර හයකට වැඩි කාලයක් ගත වී තිබේ. පීඨයක් ලෙස ස්ථාපනය වීමට පෙර ශාස්ත‍්‍ර පීඨයේ දෙපාර්තමේන්තුවක්ව පැවති කළමනාකරණ පීඨවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවවන පීඨය ලෙස ඉතිහාසගත වන්නේ අහම්බයකින් නොවන බව ඔබත් අපත් හොදින්ම දන්නා කරුණකි. නොයෙකුත් මර්දනයන් මැද කළමනාකරණ පීඨයක් ජයග‍්‍රහණය කරන්නේ මෙරටේ නිදහස් අධ්‍යාපනය දිනාගැනීමේ අනවරත අරගලයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. දැනට කි‍්‍රයාත්මක ආණ්ඩු මෙන්ම එකල පැවති ආණ්ඩු ද කිසිලෙසකින්වත් කළමනාකරණ පීඨයක් බන්දේසියක තබා පිළිගැන්වීමට කෘතඥ නොවූ බව නොරහසකි. එවන් වටපිටාවක් තුල පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කළමනාකරණ පීඨයක් දිනාගැනීම, මෑත ඉතිහාසයේ ලද සුවිශේෂීම ජයග‍්‍රහණයකි.

එකී ජයග‍්‍රහණයේ ප‍්‍රතිඵල ගැන ආවර්ජනය කරන අතරම වර්තමානය වනවිට  කළමනාකරණ පීඨයේ ප‍්‍රගමනය දෙස බැලූ කල්හි ප‍්‍රශ්නාර්තයක් මතුවන තත්ත්වයකට පත්ව ඇත. එදා කළමණාකරන පීඨය දිනාගත් පසු දැවැන්තව මතු වු සාකච්ඡුාව වූයේ කළමනාකරණ පීඨය ඉදිරි වර්ෂ කිහිපය තුළ ප‍්‍රමාණවත් පහසුකම්වලින් සමන්විත, විද්‍යාර්ථයින් රැසක් සමාජයට දායාද කරන පීඨයක් බවට පත් කිරීමයි. ඒ සඳහා විශ්වවිද්‍යාල පරිපාලනය විසින්ද ගත වූ වසර 6 ක කාලය තුල කළමනාකරණ පීඨය පවත්නා ස්ථානයෙන් වෙනම ස්ථානයකට රැගෙන ගොස් අංගසම්පූර්ණ පීඨ සංකීර්ණයක් ඉදිකිරීමට යෝජනා ගෙනෙන ලදි. නමුත් විවිධ අයථා අතපෙවීම් හේතුකොට ගෙන කළමනාකරණ පීඨය තවමත් ගැටලු රැසකට මැදිවූ ගොඩනැඟිලි දෙකකට සීමාවි ඇත.

ඇත්තෙන්ම මේ වනවිට කළමනාකරණ පීඨය, පීඨයක් දැයි සිතෙන තරමට දැවැන්ත අධ්‍යයන හා සුභසාධන ගැටලු ප‍්‍රමාණයක් පීඨය තුල උද්ගත වී ඇත. අනෙකුත් විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨ සමඟ සංසන්දනය කරන විට පේරාදෙණිය විශ්වවිද්‍යායේ කළමනාකරණ පීඨය තුල තවමත් කි‍්‍රයාත්මක මට්ටමේ පවතින්නේ දෙපාර්තමේන්තු පහක් පමණි. එමෙන්ම අනෙකුත් විශ්විද්‍යාල තුල යාවක්කාලීන වූ නව දෙපාර්තමේන්තු බොහෝමයක් තිබේ. එනම්,

* ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන දෙපාර්තමේන්තුව

* තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව

* අන්තර්ජාතික ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුව

* ව්‍යාපාර ආර්ථිකවේදී කළමනාකරණ දෙපාර්තමේන්තුව

* ව්‍යාපාර අධ්‍යයන කළමනාකරණ දෙපාර්තමේන්තුව

* හෝටල් කළමනාකරණ දෙපාර්තමේන්තුව

* ව්‍යාපාර පරිපාලනවේදී කළමනාකරණ දෙපාර්තමේන්තුව

* ව්‍යාපාර වාණිජවේදී දෙපාර්තමේන්තුව

* ව්‍යවසායකත්ව කළමනාකරණ දෙපාර්තමේන්තුව

* වතු කළමනාකරණ හා තක්සේරුකරණ දෙපාර්තමේන්තුව

* සංචාරක හා සත්කාරක සේවා කළමනාකරණ දෙපාර්තමේන්තුව

* බැංකුකරණ සහ මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව

* රක්ෂණය සහ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුව

* ව්‍යාපාර පහසුකම් කළමනාකරණ දෙපාර්තමේන්තුව

* සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුව

* ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තුව

එපමණක් නොව පේරාදෙණිය කළමනාකරණ පීඨයේ තවමත් ඇත්තේ උපාධි පාඨමාලා, එනම් ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය පමණක් නමුත් අනෙකුත් විශ්වවිද්‍යාල පද්ධතියට ඔබ ඇතුලත් වූ විට තවත් පාඨමාලාවන් දැකගැනීමට හැක.

x ව්‍යාපාර වාණිජවේදී උපාධි පාඨමාලාව

x තොරතුරු තාක්ෂණ කළමනාකරණ උපාධි පාඨමාලාව

තත්වය එසේ වියයුතු නමුත් කළමනාකරණ පීඨය ස්ථාපිත කිරීමේදී නිර්දේශ වූ දෙපාර්තමේන්තු 08 න් දෙපාර්තමේන්තු 03ක් තවමත් කළමනාකරණ පීඨයට අහිමිව ඇත්තේ එම විෂයධාරාවන් ඔස්සේ තම විශේෂවේදී උපාධිය හැදැරීමට සිහින දුටු සිසුන්ගේ එම සිහිනයන් සියල්ල බොඳ කරමිනි.

විශ්වවිද්‍යාල තුලින් විද්‍යාර්ථයින් බිහිවිය යුත්තේ සමාජ අවශ්‍යතාවය සඳහාය. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තුලින් බිහිවන්නේ එම අවශ්‍යතාවය සැපිරීමට අවම විද්‍යාර්ථයින් ප‍්‍රමාණයකි. රට තුල ඇති කළමනාකරණ පීඨ තුලින් අවම විද්‍යාර්ථයින් පිරිසක් බිහි කරනුයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තුලිනි. එබැවින් මෙය පේරාදෙණියට පමණක් සීමා වූ ගැටලුවක් නොව සමස්ථ සමාජයකට ගැටලුවක් වී හමාරය. ඉදිරි අරගලය සමාජය තුලට ගෙන යාමේ අවශ්‍යතාවය මෙයින් පෙන්වා දීමට කැමැත්තෙමු.

    විශ්වවිද්‍යාලය වාර්ෂිකව බඳවා ගන්නා ශිෂ්‍ය ප‍්‍රමාණය

        ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය       1200

        කොළඹ විශ්වවිද්‍යාලය         550

        කැළණිය විශ්වවිද්‍යාලය         550

        අග්නිදිග විශ්වවිද්‍යාලය         360

        යාපනය විශ්වවිද්‍යාලය         300

        වයඹ විශ්වවිද්‍යාලය         520

        රජරට විශ්වවිද්‍යාලය         418

        සබරගමුව විශ්වවිද්‍යාලය         390

        රුහුණු විශ්වවිද්‍යාලය                 350

        නැගෙනහිර විශ්වවිද්‍යාලය         225

        පේරාදෙණිය විශ්වවිද්‍යාලය 175

ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවක සහෝදරවරුන්ට පවා පීඨය තුල රැඳීසිටිමින් තම කටයුතු පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් ඉඩකඩක් නොමැති අතර ආචාර්යවරුන් සඳහා වෙන් වූ කාමර තුල ආචාර්යවරුන් කිහිපදෙනෙකුට රැදීසිටීමට සිදුව ඇත. එලෙස රැඳීසිටීමට සිදුවීමෙන් දේශන  කටයුතු සංවිධානය කරගැනීමේදී දුෂ්කරතාවලට මුහුණ පෑමට ආචාර්යවරුන්ට සිදු වී තිබේ. එයින්ද නොනැවති  කළමනාකරණ පීඨ ශිෂ්‍යයින්ට විෂය සමගාමි හා විෂය බාහිර කි‍්‍රයාකාරකම්වල නිරත වීමට හරිහමන් පොදුකාමරයක් නොමැති අතරම විෂයානුබද්ධ දැනුම ගවේෂණයට පීඨයටම වෙන් වු පුස්තකාලයක් නොමැතිවීමෙන්ද දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදුව ඇත. 

එමෙන්ම ශිෂ්‍යයන්ගේ බාහිර හැකියාවන් ඔප් නැංවීම සඳහා පීඨයේ පහසුකම් තිබිය යුතු අතර ඉන් එකදු පහසුකමක් හෝ ලබාගැනීමට වර්තමාන පීඨ සංකීර්ණය ප‍්‍රමාණවත් නැත. කලා කවයක් ශිෂ්‍යන්ගේ ප‍්‍රගමනය වෙනුවෙන් ශිෂ්‍ය සංගමය විසින් පිහිටුවා ගනු ලැබූවද එය රැස්වීමට හෝ කලාකවයට කාමරයක් හෝ ලබා ගැනීමට අවම පහසුකම් මට්ටමක පවතී. එපමණක් නොව ශිෂ්‍යයන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට (නාට්‍ය, නර්ථන, ප‍්‍රසංග) හෝ පීඨයට අනන්‍ය වූ පීඨ මට්ටමේ ශ‍්‍රවණාගාරයක්වත් නොමැත. ඒ සඳහා අනිකුත් පීඨවල හෝ විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ස්ථාන භාවිතා කිරීමට සිදුවී ඇත.

විශ්වවිද්‍යාලයක් යනු විශ්වීය දැනුම සොයමින්, නව පර්යේෂණයන් සිදු කරමින්, නව නිර්මාණයන් බිහි කරමින් දැනුම ලබාගන්නා වූ තෝතැන්නකි. නමුත් කාරණය නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය එවන් තෝතැන්නක් වීමට අදාල වටපිටාවක් නොමැති වීමයි. විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි නිර්මාණයට අදාල ප‍්‍රමිතිමත්භාවය, කලා නිර්මාණ ආදී කිසිවක් වර්තමාන පීඨ සංකීර්ණය තුල නොමැත.

කළමනාකරණ පීඨ ශිෂ්‍යයන්ට ආහාර ගැනීමට ද යාමට සිදුව ඇත්තේ විශ්වවිද්‍යාලයේ පොදු ආපනශාලාව වන WUS ආපනශාලාවටයි. දවල් 12-01 පැයේදී WUS ආපනශාලාව තුල දිගු පෝලිම් නිර්මාණය වන අතර ඒ නිසා දේශන සඳහා සම්බන්ධ වීමට පෙර ආහාර ලබා ගැනීමට සැලකිය යුතු පිරිසකට නොහැකිවන තත්වයක් උදා වී තිබේ. ඒ සියල්ලෙන් බැටකන අතරේම හදිසියේ දේශන පැවැත්වීමට, Presentation සිදු කිරීමට දේශනශාලා වෙන් කර ගැනීමේදී ද සිසුන්ට මහත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇත. ඒ සියල්ල අතරවාරයේ ඉදිකර පවතින නව පීඨ ගොඩනැගිල්ලද ඉරිතලායාමෙන් වැඩි කාලයක් භාවිතා කළ නොහැකි අවදානම් මට්ටමකට පත්වී තිබේ.

 මෙතරම් අපහසුතා මධ්‍යයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍යයන් මෙන්ම ආචාර්යවරුන් ද තම ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු වල නිරත වනවිටත් රජයේ පිළිතුර වී තිබෙනුයේ ඉදිරි වර්ෂ දෙකක කාල පරිච්ඡේදයක් සඳහා විශ්වවිද්‍යාලවල අභිනව ඉදිකිරීම් වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් නොවන බවයි. ප‍්‍රයෝජනයට නොගන්නා දහසකුත් ව්‍යාපෘති අහස උසට ඉදිකර  අද වනවිට එම ව්‍යාපෘති සතුන්ගේ වාසස්ථාන බවට පත්ව ඇති රටක, හෙට දිනයේදී රට වෙනුවෙන් තම දැනුම වගා කිරීම සදහා ඇඟිලි ගනිමින් සිටින අහිංසක සහෝදර සහෝදරියන් වෙනුවෙන් මෙන්ම දහසකුත් එකක් අපහසුතා මැද අඛණ්ඩව ඉගෙනුම් ක‍්‍රියාවලිය කරගෙන යනු ලබන ආචාර්යවරුන් වෙනුවෙන් රටේ ජනතාවගේ බදුු මුදල් වෙන්වීමට ඇති ප‍්‍රමාදය අප ප‍්‍රශ්න කළ යුතු නොවේ ද? මෙම ගැටලුව වෙනුවෙන් මේ වනවිටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පෙළගැසී අවසන්ය. මෙම ගැටලුව සමිබන්ධයෙන් පීඨ පරිපාලනය සහ විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ විශාල වශයෙන් සාකච්ඡා ගෙන ඇත. කළමනාකරණ පීඨය ඉදිරිපිට මෙන් ම සනාතන මන්දිරය ඉදිරිපිට ද උද්ඝෝෂණ පවත්වා ඇත. මෙම ගැටළුව සම්බන්ධව පීඨාධිපතිතුමාගේ සිට ජනාධිපතිතුමා දක්වා දැනුවත් කරමින් ලිපි යවා ඇත. කොළඹ, ගමිපහ, මහනුවර, මාතලේ, කෑගල්ල, මාවනැල්ල, නාවලපිටිය, වරකාපොළ, නුවරඑළිය, කටුගස්තොට, අකුරණ, ගමිපොළ යන නගරයන්වල ජනතාව දැනුවත් කිරීමේ ක‍්‍රියාමාර්ග ගෙන ඇත. මහජන පෙත්සමක් අත්සන් කර ඇත. ගලහ මංසන්ධියේදී උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වා ඇත. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අති දැවැන්ත උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයක් ගෙන ඇත. නමුත් වගකිව යුතු පාර්ශවයන් තවමත් නිහඬය. ඔවුන්ට තවමත් රටේ සැබෑ ප‍්‍රශ්න නොපෙනේ. අහිංසක දුප්පත් ජනතාවගේ බදු මුදලින් යැපෙන පාලකයන්ගෙන්, ජනතාවගේ උවමනා උදෙසා, ජනතාවගේම බදු මුදල් වෙන් කරවා ගැනීමට, ජනතාවටම පාරට බැසීමට සිදුු ව ඇත. එබැවින් මේ එළඹ තිබෙන්නේ අපගේ සැබෑ ගැටලු වෙනුවෙන් හඬ නැඟිය යුතු කාලයයි. මේ එළඹ තිබෙන්නේ හුදෙක් විශ්වවිද්‍යාල සිසුන් පමණක් වෙනුවෙන් නොව, තම ජීවිතය මෙන් ම මුළු මහත් සමාජයම වඩා යහපත් සමාජයක් කර ගැනීමේ අරමුණින් යුතුව නිදහස් අධ්‍යාපනයේ ඵලය භුක්තිවිඳිමට සැරසී සිටින මතු උපදින දරුවන් වෙනුවෙන් තව තවත් අරගලය ත‍්‍රීව‍්‍ර වියයුතු කාලයයි. එබැවින් හුදෙක් පාලකයන්ගේ නොව, සමස්ත සමාජයේම සුඛ විහරණය උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අංග සමිපූර්ණ නව කළමනාකරණ පීඨ සංකීර්ණයක් දිනා ගන්නා තුරු අප සැවොම එක්ව  තවදුරටත් සටන් වදිමු.



No comments:

Post a Comment