Sunday, October 11, 2020

උසස්පෙළ සිසුන්ට ප්‍රශ්න ගොඩයි! අන්තරෙන් ඇමතිට ලිපියක්.

 


පවතින වසංගත තත්ත්වය හමුවේ උසස් පෙළ විභාගය පැවැත්වීමේදී සිසුන්ට මුහුණදීමට සිදුව ඇති, කඩිනම් පිළිතුරු ලැබිය යුතු ගැටලු සම්බන්ධවයි.

කෝවිඞ් 19 වසංගතයේ ශීඝ්‍ර පැතිරයාමත් සමඟ 2020 අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව නැවතත් අර්බූදකාරී තත්ත්වයක් පැන නැගී තිබේ. කෙසේ වෙතත් ඔබ විසින් නිවේදනය කර සිටියේ වසංගත තත්ත්වයක් පැවතිය ද නියමිත පරිදි උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කරන බවයි. ඒ සඳහා විශේෂ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද සඳහන් කරන ලදී. නමුත් අදාළ වැඩපිළිවෙළ සකස් කිරීමේදී ප්‍රමුඛ අවධානය යොමු කර තිබෙන්නේ කෙසේ හෝ විභාගය පැවැත්විය යුතුය යන්න පිළිබඳ පමණක් වන බව පෙනේ.

විභාගය පැවැත්වීමේ අවශ්‍යතාව බරපතල ලෙස පවතිනවා මෙන්ම විභාගයට මුහුණ දෙන සිසුන්ගේ පාර්ශවයෙන් අනිවාර්යයෙන් සලකා බැලිය යුතු ගැටලු රැසක් ද පවතියි. මින් පෙර සිසුන් පීඩාවට පත් වූයේ විභාගය පැවැත්වෙන දිනයක් ස්ථීරව දැනුම් නොදීම විසින් ඇති කළ අවිනිශ්තතාව හේතුවෙනි. එසේම අධ්‍යයන කටයුතුවල අඛණ්ඩතාවක් නොතිබීම හා විෂයමාලාවන් සම්පූර්ණයෙන් ආවරණය නොවී තිබීම හේතුවෙනි. දැන් විභාගය පැවැත්වීමට ඉතා ආසන්න අවස්ථාවක් පැවතියදී වෙනත් මාර්ගයකින් ද නැවතත් සිසුන් තුළ අවිනිශ්චිතතාවක් මතුව තිබේ. ඒ වසංගත තත්ත්වයේ ප්‍රබල නැවත නැගී සිටීමක් අතරතුර විභාගයට මුහුණ දෙන්නට සිදුවීම විසිනි.

සිසුන්ගේ අධ්‍යයන මානසිකත්වය පිළිබඳ කිසිඳු තැකීමක් රජය විසින් සිදුකර නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මාර්තු මස පාසල් වසා දැමූ අවස්ථාවේ පටන් සිසුන්ට මුහුණ දෙන්නට සිදු වූයේ යහපත් තත්ත්වයන්ට නොවේ. මාස ගණනාවක් අධ්‍යයන කටයුතුවලින් ඈත්ව සිටීමට සිදු වූ අතර විෂයමාලාවන් නිසි පරිදි ආවරණය වී නොතිබිණි. සිසුන්ට විභාගට මුහුණදීමට තරම් පෙර සූදානමක් ඇති කරගැනීමට කාලයක් තිබුණේ නැත. නැවත පාසල් ආරම්භ කළ පසු ප්‍රමුඛතාව ලබාදුන්නේ ආවරණය නොවූ විෂය කොටස් කෙසේ හෝ ආවරණය කිරීම සඳහා පමණි. මාස පහක පමණ කාලයක් මඟහැරී තිබූ අධ්‍යයන කටයුතු (විෂයමාලා සම්පූර්ණ කරගැනීම, ව්‍යාපෘති සැකසීම ආදිය) මාස දෙකකදී සම්පූර්ණ කිරීමට සිසුන්ට සිදුවිය. එහෙයින් ගතවූ ආසන්න කාලය සිසුන්ට විභාගයට මුහුණ දීම සඳහා පූර්ණ පූර්ව සූදානමක් ඇති කරගන්නට අවස්ථාවක් නොලැබුණු කාලයකි. අධ්‍යයන මානසිකත්වය යථාවත් කරගැනීමට තරම් සුදුසු අධ්‍යයන පරිසරයක් රට තුළ පැවතියේ නැත. ඒ සඳහා අවදානයක් යොමුවූයේ ද නැත.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අවස්ථාවේදී නම් මෙවැනි නොසැලකිල්ලක් දක්නට නොතිබුණි. වසංගත බිය දුරුකොට ජනතාව මැතිවරණයට සූදානම් කිරීම සඳහා විශේෂ වැඩසහන් සංවිධානය කර තිබුණි. සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන ලදී. ඒ පිළිබඳව ප්‍රචාරණ මෙහෙයුම් සිදුකරන ලදී. රාජ්‍ය අංශයේ සියලු කොටස් මැතිවරණ කටයුතු සඳහා යොදවන ලදී. බලය ලබාගැනීම උදෙසා සිදුකරන මැතිවරණය පැවැත්වීමේදී දැක්වූ අවධානය උසස් පෙළ විභාගය පවත්වන අවස්ථාවේ නොතිබීම - විශේෂයෙන් වසංගත තත්ත්වයේ නැවත නැගී සිටීමක් අතරතුර - ප්‍රශ්න කළ යුතු තත්ත්වයකි. වසංගතයක් තුළ මැතිවරණයකට ජනතාව සූදානම් කිරීමට තිබූ හැකියාවත් උසස් පෙළ පැවැත්වීමේදී සිසුන්ගේ අධ්‍යයන මානසිකත්වය ගොඩනගන්නට තිබූ නොහැකියාවත් එකිනෙකට පරස්පරය.

උසස් පෙළ වැනි කඩයිම් විභාගයකට මුහුණ දෙන සිසුන් හට නිරවුල් මනසින් විභාගයට පෙනී සිටීමට හැකිවීම ඉතා අවශ්‍ය දෙයකි. නමුත් විභාගයට මුහුණදීමේදී මේ මොහොතේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පැනනගින, රජය පාර්ශවයෙන් නිශ්චිත අවදානයක් යොමුවී නොමැති ගැටලු රැසක් ඇති අතර එය අධ්‍යයන මානසිකත්වයකට තවදුරටත් බාධා ඇති කරන අවිනිශ්චිත හැඟීමක් සිසුන් තුළ ජනිත කරවයි. එහෙයින් යළි යළිත් සිසුන් පීඩාවට පත් නොකර මෙම ගැටලු සඳහා වහාම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් සිදුවිය යුතුය.

* වසංගතයේ පැතිරයාමත් සමඟ දැනටමත් අධි අවදානම් කලාප වෙන් කරමින් ඇඳිරි නීතිය පනවා තිබේ.  විශේෂයෙන් එම ප්‍රදේශවල සහ අනෙකුත් ප්‍රදේශවල සිටිය හැකි, දැනටමත් වෛරසය ආසාදනය වී ඇති හෝ ආසාදිත බවට සැක කෙරෙන සිසුන් කොපමණ සිටී ද?

* එලෙස විභාගයට පෙනී සිටීමට නොහැකි වන සිසුන්ට සැලසෙන විකල්පය කුමක්ද? ඔවුන්ට නැවත විශේෂ අවස්ථාවන් සැලසෙන්නේද? එසේ නම් ඒ කෙසේද?

* විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබිය හැකි ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටිය හැකි වාර ගණන අවස්ථා තුනක් පමණි. විභාගයට පෙනී සිටින අතරතුර යම් සිසුවෙකු කෝවිඞ් ආසාදිත බවට හඳුනාගතහොත් ඔහු විභාගයට එක් වරක් පෙනී සිටියෙක් බවට සැලකෙන්නේ ද?

* එය එසේ නම් ඔහුට පෙනී සිටීමට නොහැකි වන විෂයයන් සඳහා ලබාදෙන විකල්පය කුමක්ද? එවන් වැඩපිළිවෙලක් තිබේද?

උසස් පෙළ විභාගය පැවැත්වීමට සූදානම් වන්නේ ඉතාමත් අර්බුදකාරී වාතාවරණයක් උද්ගතව පවතිද්දීය. එසේම නිසි සූදානමක් සිසුන් තුළ නොමැති අවස්ථාවකදීය. එහෙයින් මෙම ගැටලු සහ උද්ගත විය හැකි තවත් ගැටලු සඳහා දැනටමත් යම් හෝ වැඩපිළිවෙළක් සකසා තිබෙන්නේ නම් ඒ පිළිබඳව වහාම සිසුන්ට ප්‍රමාණවත් පරිදි පැහැදිලි කිරීමක් ඔබ විසින් සිදු කළ යුතුය. එවන් වැඩපිළිවෙලක් නොමැති නම් වහාම ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. කෙසේ හෝ උසස් පෙළ පැවැත්වූවා යැයි කියන්නට විභාගය තබා පලක් නොමැති අතර සිසුන්ගේ මානසික, අධ්‍යයන සූදානම පිළිබඳ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් භාරගත යුතුය. තවදුරටත් අවිනිශ්තතාවයේ පීඩාවට සිසුන් ඇද නොදමා මෙම ගැටලු සඳහා වහා පිළිතුරු මොනවාදැයි රට ඉදිරියේ ප්‍රකාශ කළ යුතු බව දැඩිව අවධාරණය කරමු.

No comments:

Post a Comment