Saturday, October 31, 2020

අසාධාරණයට පත් 2019 A/L සිසුන් සමඟ අන්තරේ Online විරෝධතාවක!

 


2019 අ.පො.ස. උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේදී බලවත් අසාධාරණයක් සිදුව තිබේ. නව හා පැරණි විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වුණු අතර විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේදී  මෙම විෂය නිර්දේශ දෙක අතර විශාල පරස්පරයක් මතු වී තිබේ. Z ලකුණු මට්ටමින් හා දිස්ත්‍රික් කුසලතා මට්ටමින් ඉහළම අගයන් ලබාගත් සිසුන්ටවත් සරසවි ප්‍රවේශය හිමි වී නැත. තාක්ෂණ විෂය ධාරාවේ පැරණි විෂය නිර්දේශය සඳහා පෙනී සිටි සිසුන් ලංකාවෙන්ම බඳවාගෙන ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් වන අතර දිස්ත්‍රික් කුසලතා මට්ටමින් 06, 07 ලබාගත් සිසුන්ටවත් විශ්වවිද්‍යාලයක් නැත. කලා විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිට ඉහළ සුදුසුකම් සහිත විශාල සිසුන් පිරිසකට ද විශ්වවිද්‍යාල අහිමි වී ඇත. නව විෂය නිර්දේශයෙන් ජීව විද්‍යාව හදාරා ඉහළ සුදුසුකම් ලැබූ සිසුන් ද විශාල පිරිසක් විශ්වවිද්‍යාල අහිමිව සිටී. වාණිජ, විද්‍යා, ගණිතය ඇතුළු සියලු විෂය ධාරාවන් තුළම මෙම ගැටලුව පවතී.

මෙම සිසුන් ඉහළින්ම විභාගය සමත් වී ඇත. එහෙයින්ම බොහෝ දෙනෙක් නැවත විභාගයට පෙනී සිටද නැත. පැරණි විෂය නිර්දේශය හැදෑරූ බොහෝ සිසුන්ට නැවත විභාගයට පෙනී සිටීමට අවස්ථාවක් ද නැත. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීමට උපරිම සුදුසුකම් සහිත වූ නිසා කළ හැකි වෙනත් පාඨමාලාවන්ට අයදුම් කරද නැත. කඩඉම් ලකුණු මාස 14ක් තිස්සේ ප්‍රමාද වූ නිසා මේ පිළිබඳව අදහසක් සිසුන්ට තිබුණේ ද නැත. 

විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීමට අවශ්‍ය සුදුසුකම උසස්පෙළ විභාගය සමත් වීමයි. සෑම වසරකම විශාල සිසුන් පිරිසක් උසස් පෙළ සමත් ⁣වී උසස් අධ්‍යාපනයට සුදුසුකම් සපුරති. 2019 වර්ෂයේ සමත් වූ සිසුන් ගණන 1,81,000 කි. මේ සියලු දෙනාට උසස් අධ්‍යාපන අවස්ථා හිමි විය යුතුය. නමුත් මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙම සංඛ්‍යාවෙන් හතරෙන් එකක ප්‍රමාණයවත් බඳවාගැනීමට තරම් මානව හා භෞතික සම්පත් නැත. දශක ගණනක් තිස්සේ මේ තත්ත්වය මෙසේම වන අතර පහසුකම් පුළුල් කර වැඩි සිසුන් පිරිසක් බඳවාගැනීමට තරම් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කරන්නේ නැත. එහෙයින් මෙය සමාජයේ බරපතල ගැටලුවක්ව පවතී. වත්මන් රජය බලයට පත් වූයේම සියලු උසස්පෙළ සමතුන්ට උසස් අධ්‍යාපන අවස්ථා සලසන බව පොරොන්දු වෙමිනි. දැන් සියලු සමතුන්ට කෙසේ වෙතත් කඩඉම් ලකුණු බාධකය ජයගත්, විභාගය ඉහළින්ම සමත් වූ සිසුන් පිරිසවත් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමට සමත් වී නැත. 

මෙවර විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වූ නිසා දෙපිරිසෙන්ම සුදුසුකම් සැපිරූ සියලු සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවාගත යුතුය. ඒ සඳහා වෙනත් වර්ෂවල බඳවාගන්නා ප්‍රමාණයට සාපේක්ෂව දෙගුණයකට ආසන්න පිරිසක් බඳවාගැනීමට සිදු වේ. අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කරන තුරු දැනට විශ්වවිද්‍යාල තුළ පවතින සම්පත් ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කරමින් මෙම සිසුන් ප්‍රමාණය බඳවාගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ හැකිය. 2011 වර්ෂයේදීද මෙම ගැටලුව මෙලෙසින්ම පැමිණි අතර ගැටලුව විසඳුණේ විෂය නිර්දේශ දෙකෙන්ම සුදුසුකම් සපුරන ලද සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීම විසිනි. නමුත් මෙවර මෙවන් ගැටලුවක් පවතිද්දීත් විශ්වවිද්‍යාලවලට බඳවාගැනෙන පිරිස ඉතා සීමිතය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තර්ක කරන්නේ පසුගිය වර්ෂයට සාපේක්ෂව සිසුන් 8000කින් බඳවාගැනීම් ඉහළ දමා ඇති බවයි. එය සැබෑවකි. මෙවර සිසුන් 40,111ක් විශ්වවිද්‍යාල සඳහා බඳවාගැනේ. නමුත් මෙම වැඩිවීම උක්ත ගැටලුව හා සසඳා බලන විට පුස්සක් පමණි. මෙයට වැඩි සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල වෙත බඳවාගැනීම ගැටලුවට ඇති එකම විසඳුමයි. වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණයක ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වෙත බඳවාගත යුතුය. එය මින් පෙරද සිදු කර ඇති අත්දැකීම් සහිත ක්‍රියාවලියක් වන අතර සියලු උසස්පෙළ සමතුන්ට උසස් අධ්‍යාපන අවස්ථා සැලසීමට ආණ්ඩුව සිදු කරනවා යැයි කියන වැඩපිළිවෙළට ආරම්භයක්ද කරගත හැකිය. සුදුසුකම් ලත් සියලු දෙනාට අසාධාරණයක් නොවන පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබිය හැකි වන්නේ එවිටය. 

මෙම ගැටලුව විසඳන ලෙස බල කරමින් 2019 උසස් පෙළ කඩඉම් ලකුණු ⁣ගැටලුවෙන් අසාධාරණයට පත් සිසුන් - දෙමාපියන් සමඟ එක්ව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය Online විරෝධතාවක් ඊයේ (30) ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා දිවයිනේ නන්දෙසින් අසාධාරණයට පත් සිසුන් සහභාගී වී තිබුණ අතර පහත දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.











No comments:

Post a Comment