Wednesday, November 4, 2020

අවම ප්‍රමිතිය ගැසට් වෙයි ! වෛද්‍ය උපාධිය ඈවරයි ! දෑවරයි !



වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව අවම ප්‍රමිතීන් යළිත් වතාවක් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබේ. සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට අදාළ අඛණ්ඩ අරගලයක් ක්‍රියාත්මක වන මොහොතේ පවා පැවති ආණ්ඩුවත් ඉතා හදිසියේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමට උත්සාහ කරන ලදී. 

වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතියක් අවශ්‍ය වන්නේ මන්ද?

මේ වන විට වෛද්‍ය උපාධි සඳහා බඳවාගැනීම් සිදුකරනු ලබන්නේ රජයේ වෛද්‍ය පීඨ 08 ක් සඳහාය. ඊට අමතරව විදෙස් විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ගත් පිරිසක් ද වෛද්‍ය සභාව මගින් පවත්වන ERPM විභාගයට මුහුණ දීමෙන් අනතුරුව වෛද්‍ය සේවයට එක්කරනු ලබයි. 

රජයේ වෛද්‍ය පීඨවලට බඳවාගැනීම් සිදු කිරීමේදී මේ වන විටත් සෑම වසරකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් නිකුත් කරනු ලබන කඩඉම් ලකුණු හරහා අදාළ අවම සුදුසුකම් තීරණය කරනු ලබයි. වෛද්‍ය උපාධි සඳහා බඳවාගැනීම් සිදු කරනුයේ රජයේ වෛද්‍ය පීඨවලට පමණක් නම් මේ වන විටත් එම සුදුසුකම් පරීක්ෂා කිරීමේ පොදු ක්‍රමවේදයක් පැවතියදී නැවත අවම ප්‍රමිතියක් වෙනම ගැසට් කිරීමට අවශ්‍ය වන්නේ නැත. 

එසේ නම් මෙලෙස වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ගැසට් කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ රජයේ වෛද්‍ය පීඨවලට අමතරව වෛද්‍ය උපාධි ලබාදීමේ වෙනත් ක්‍රමවේදයක් හා ආයතන පවතින්නේ නම් පමණි. 

පසුගිය කාලය පුරා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම කෙරෙහි පැවති සෑම ආණ්ඩුවක්ම විශාල උත්සාහයක් ගනු ලැබීය. එසේම මේ වන තෙක්ම විදෙස් වෛද්‍ය උපාධි පිරිනමන ආයතන වෛද්‍ය සභාව තුළ ලියාපදිංචි කරවාගැනීම සඳහා ද දැඩි උත්සාහයක් ක්‍රියාත්මක වෙයි. 

එසේ නම් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියක් අවශ්‍ය වන්නේම ඉහත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා විදෙස් විශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනය විකිණීමට අදාළ පසුබිමක් සකස් කිරීමටයි. 

පසුගිය ආණ්ඩුවෙන් ඉදිරිපත් කළා මෙන්ම වත්මන් ආණ්ඩුව ද වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම අ.පො.ස. උසස්පෙළ විභාගයෙන් C සාමාර්ථ දෙකක් හා S සාමාර්ථයක් ලෙස තීරණය කර ඇත. මේ හරහා සිදුවන්නේ රජයේ වෛද්‍ය පීඨවලට බඳවාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් තීරණය කරනු ලබන අවම ප්‍රමිති (කඩඉම් ලකුණු) අගයට වඩා පහළ අගයක් අවම ප්‍රමිතිය ලෙස ඉදිරිපත් කර එම සුදුසුකම් සහිත සිසුන් ඉලක්ක කරගත් වෙළඳපොලක් නිර්මාණය කිරීමයි.

මේ අතර විදෙස් උපාධි පාඨමාලා සඳහා පිටව යන සිසුන්ගේ ප්‍රතිඵල සම්බන්ධ ගැටලු පවතින නිසා අවම ප්‍රමිතියක් අවශ්‍ය බවට තර්කයක්ද ගොඩනැගී ඇත. විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය නම් එය වෙනම කාරණයකි. නමුත් මෙම තීරණය හේතුවක් ලෙස සඳහන් කරමින් පොදුවේ රජයේ වෛද්‍ය පීඨවලට ද අදාළ වන ලෙස අවම ප්‍රමිතියක් තීරණය කිරීමේ අරමුණ වෙනකකි. 

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රධානතම ගැටලුව වන්නේ වෛද්‍ය අධ්‍යාපනය මුදල් මත තීරණය වීමයි. වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින්නේ නම් එයට විසඳුම වන්නේ රජයේ වෛද්‍ය පීඨවලට බඳවාගැනීම් වැඩි කිරීම හා ඊට අදාළ ප්‍රතිපාදන වැඩි කිරීමය. 

එසේම සයිටම් හොර උපාධි කඩය සම්බන්ධ ගැටලුවේදී මතුවූ කරුණු අනුව ද පැහැදිලි වූයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ නිර්දේශ කිසිවක් සම්පූර්ණ නොකර තිබියදී පවා විදෙස් උපාධි සඳහා වලංගුභාවයක් ලබාදීමට කටයුතු කර තිබුණු බවයි.

එසේනම් වෛද්‍ය අධ්‍යාපනයට බඳවාගැනීම් සිදු කරනුයේ රජයේ වෛද්‍ය පීඨවලට පමණක් නම් ඒ සඳහා වසරින් වසර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා අවම සුදුසුකම් (Z - Score) ප්‍රකාශ කරනු ලබයි. වෙනම අවම ප්‍රමිතියක් තීරණය කිරීමේ අවශ්‍යතාව පැමිණෙන්නේම වෛද්‍ය උපාධි විකිණීමට අවශ්‍ය පසුබිම සැකසීමටයි. 

එම නිසා අවම ප්‍රමිතිය තීරණය කිරීමට මුවාවී වෛද්‍ය උපාධි විකිණීමට සිදුකරන උත්සාහය හෙළා දකින අතර ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අවධාරණය කරමු!


No comments:

Post a Comment