Tuesday, December 1, 2020

"සිරකරුවෝ මනුෂ්‍යයෝය" කිව්වට ඒ බන්ධනාගාරෙන් එළියෙ තියෙන තාප්පෙට විතරයි.


මහරට පෙර වදනක්

කොරෝනා ආපු අලුත, හරියටම මාර්තු 01 ඉඳන් 18 වෙනකම් අපි හිටියෙ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරෙ. රුහුණෙ උම්මන්තක උපකුලපතිගෙ මර්දනයට එරෙහි සත්‍යග්‍රහයෙ ඉද්දි උම්මන්තක ආණ්ඩුව සිසුන් 22ක් හිරේ දැම්මා. කැළණියේ සහෝදරවරු හය දෙනෙක් මාර්තු 26 වෙනකම් හිටියෙ මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් කරලා. ඒ කැලණි පරිපාලනය CCTV ගහල සිසුන්ගෙ ජීවිතවලට එබිල බලන්න පටන්ගත්තට පස්සෙ ඒකට විරුද්ධ වීම නිසා.

බන්ධනාගාර ඇතුළට කොරෝනා භීතිකාව ආවෙ මේ කාලෙ. අනුරාධපුර බන්ධනාගාරෙන් ආසාදිතයෙක් හම්බවුනා කියල ආරංචියකුත් පැතිරිලා ගියා. ඒ වෙද්දිත් CRP එකේ හතර දෙනෙක් කොරෝනා කියල සැක පිට වෙනම කාමරේක දාලා හිටියා. එක වාට්ටුවක් දවස් කීපයක් හිස් කරල තිබ්බා. බන්ධනාගාර නිලධාරීන් වාට්ටුවලට එන එක නතර වුණා. ඔවුන් මාස්ක් දාන්න පටන් ගත්තා. උදේට, දවල්ට, හවසට පෝලිම් කරල ගණන් කරද්දි බන්ධනාගාර නිලධාරීන් වෙනද වගේ වාට්ටුවට ආවෙ නෑ. කාමර පාටි ඉන්න ගාන ගණන් කරලා කිව්වා. ලොකු ලොකු හයිරන්කාරයෝ වැඩි ආරක්ෂාවට බන්ධනාගාර රෝහ⁣ලේ පදිංචියට ගියා! අපි හිටියෙ S වාට්ටුවේ. මමයි, භික්ෂු අන්තරේ කැඳවුම්කරුයි. අපේ අනිත් අය E වාට්ටුවට දැමිමා. S වාට්ටුවට සැරින් සැරේට අල්ලගන්න විදෙස් රැඳවියෝ ගෙනල්ල දැම්මා. අපි හිටපු දවස්වල ඉරාණ ජාතිකයො 34යි, ඉන්දියාවෙ 1යි, පාකිස්තාන් ජාතිකයෙකුයි, චීන ජාතිකයො 2යි, මාලදිවයිනේ 2යි ආවා. මේ අයට විවිධ රෝග තිබ්බා. චර්ම රෝග විශේෂයි. සමහරු හිටපු ගමන් හෙරොයින් සික් එකට වෙව්වලා වැටෙනවා. එහෙම වෙලාවට කොරෝනා භීතිය නිසා බලධාරීන් කවුරුවත් අහලකටවත් ආවෙ නෑ. රැඳවියන්ම ඉදිරිපත් වෙලා ඔවුන් බන්ධනාගාර රෝහලට අරන් ගිහින් නැවත අරගෙන ආවා. කොරෝනා භීතිය වැඩි වෙන්න වැඩි වෙන්න බන්ධනාගාරය ඇතුළෙ ආතතියත් වැඩි වුණා. එකිනෙකා දිහා සැකෙන් බලන්න පටන්ගත්තා. ගොඩක් අය විදෙස් රැඳවියන් ළඟින් ඉන්නවත් කැමති වුනේ නෑ. විදෙස් රැඳවියන් හිටපු නිසා S වාට්ටුව සම්පූර්ණයෙන්ම වහල දැම්මා. දවස් ගාණක් අපිට වාට්ටුවෙන් එළියට යන්න බැරි වුණා. විසිට් යන්න දුන්නෙත් නෑ. හැමෝම S වාට්ටුව මඟහරින්න ගත්තා. අන්තිමේදි ඉරාන් පිරිසෙ මූලිකත්වයෙන් S වාට්ටුව ආහාර වර්ජනයක් කරා. වාට්ටුවෙන් එළියට යන්න දෙන්න කියලා. ඊටපස්සෙ හැමදාම දවල් 02 ඉඳලා 03 වෙනකම් අනිත් වාට්ටු වහලා S වාට්ටුව ඇරියා.

හැම වාට්ටුවකම තිබ්බෙ අධික තදබදයක්. S වාට්ටුවේ ඉඩ තිබ්බෙ හතලිහකට විතර. හැබැයි ඒකෙ හැත්කෑවකට ආසන්න පිරිසක් හැමදාම හිටියා. E වාට්ටුවේ තදබදය තවත් වැඩියි. ඒකෙ පහසුකම් තිබ්බෙ 100කට විතර. හැබැයි 200 ඉක්මවූ පිරිසක් E වාට්ටුවේ හිටියා. මේ තදබදය හොඳටම දැනෙන්නෙ නිදාගන්න ගියාම. හැමෝටම නිදාගන්න ඉඩ නෑ. ඒ නිසා නිදාගත්තෙ ඇලේට හැරිලා එකිනෙකාට තෙරපිලා. හෙල්ලෙන්නවත් බෑ. වැසිකිළිය උඩත් ලෑලි දාලා කට්ටිය නිදි කෙරෙව්වා. අඩුම තරමෙ බිමට එලාගන්න පැදුරක්වත් නැතුවයි මේ විදිහට නිදාගන්නෙ. මේ නිසා ගොඩක් රැඳවියන්ට කාසෙ හැදිල තිබ්බා. කාසෙ හිරගෙදර සුලබ රෝගයක්.

ඕනම මොහොතක බන්ධනාගාර ඇතුළට කොරෝනා එන්න ඉඩකඩ තිබ්බා. හැමදාම විශාල පිරිසක් රැඳවියන් විදිහට අලුතින් ආවා. PCR තියා පැනඩෝල් පෙත්තක්වත් නැතුව. නිරෝධායනය, මීටරේ දුර, මාස්ක්, විෂබීජ නාශක දියර බන්ධනාගාර රැඳවියන්ට විහිළුවක්. පාවිච්චි කරන්න තියා හිතන්නවත් බෑ. ඉතිං කොරෝනා එද්දි, ඒ ගැන නිව්ස් දවසින් දවස අලුත් වෙද්දි බන්ධනාගාර රැඳවියන් අතර ආතතියත් ඒ විදිහටම වැඩි වුණා. බන්ධනාගාර රෝහල තිබ්බට ඒකෙ සාමාන්‍ය උණකටවත් බෙහෙත් නෑ. බෙහෙත් ගන්න ගියාමත් තවදුරටත් ඔවුන් සිරකරුවන්ම මිස රෝගීන් විදිහට සැලකුම් ලැබුවෙත් නෑ. පොදු අත්දැකීම වුනේ බන්ධනාගාර රෝහල සාමාන්‍ය රැඳවියන්ට අපායකුත්, දේශපාලන හයිරන්කාරයන්ට සුවපහසු නවාතැනකුත් වීම.

දැන් බන්ධනාගාර ඇතුළට කොරෝනා ඇවිල්ලා. දාහකට වැඩි පිරිසක් ආසාදනය වෙලා. හැබැයි ඒ මාධ්‍යයට අනුව. නමුත් යථාර්ථය ඒක නෙමෙයි. බන්ධනාගාරවල කොරෝනා පැතිරීම ලේසියෙන් නවත්තන්න බෑ. එක ආසාදිතයෙක් හිටියනම් මුළු හිරගෙදරටම පැතිරෙන්න ඒ ඇති. PCR පරීක්ෂණ තියා පැනඩෝල් පෙත්තක්වත් ඔවුන්ට ලැබේ.

න්නෙ නෑ. ඒක තමයි ඇත්ත. "සිරකරුවෝ මනුෂ්‍යයෝය" කිව්වට ඒ බන්ධනාගාරෙන් එළියෙ තියෙන තාප්පෙට විතරයි. බන්ධනාගාර රැඳවියන්ට වඩා සත්තුවත්තක සත්තුන්ට පහසුකම් තියෙනවා. මහර බන්ධනාගාරයේ මිනීමැරීමත් එක්ක හැමෝගෙම අවදානය බන්ධනාගාරවලට යොමු වෙලා. රැඳවියන්ට ජීවිතය වෙනුවෙන් අරගල කරන්න වෙලා. මහර මිනිස්සු ඉල්ලුවේ PCR පරීක්ෂණ. ඔවුන්ට ලැබුණෙ වෙඩි උණ්ඩ. මිනිහෙක් අපරාදකාරයෙක් වෙන්නෙ ආසාවට නෙමෙයි. ඒකට එලියෙ ඉන්න හැම සුදනෙක්ම වගකියන්න ඕනි. මේක හොරකම, මැරකම නීතිගත කරපු සමාජයක්. බන්ධනාගාර හැදුවට ඒ ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. ඒක ලොකු සංවාදයක්! හැබැයි, බන්ධනාගාර රැඳවියන්ට තියෙන්නෙත් ජීවිතයක්. ඒක තේරුම්ගන්න ඕනි. ඒ ජීවිත තියෙන්නෙ රජය භාරයේ. වසංගතයකට ගොදුරු වෙලා ප්‍රතිකාර ඉල්ලුවාම රජය කරන්නෙ උන්ට වෙඩි තියල මරල දාන එක. එක්කො ⁣කොරෝනා හැදිල මැරෙන්න ඕනි. නැත්තං වෙඩි කාලා මැරෙන්න ඕනි. බෙහෙත් පෙත්තක්වත් නැතුව දුක්විඳල මැරෙනවට වැඩිය වෙඩි කාලා මැරෙන එක ලේසියි. බන්ධනාගාර රැඳවියන්ට අද වෙලා තියෙන්නෙ මේ දෙකෙන් එකක් තෝරගන්න. සර් තමයි, සර් හොඳයි කිය කිය හැම එකාලම නිදිගැට කඩ කඩ ඉන්නකම් ඒක ඒ විදිහටම වෙයි.

රත්කරව්වේ ජිනරතන

No comments:

Post a Comment