රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය ජරාජීර්ණ වූ ආර්ථික ක්‍රමයට අනුව සකස් කිරීමට යාමේදී ශාස්ත්‍රීය විෂයන්ගේ අවශ්‍යතාවය සලකා බලන්නේ නැත. එනිසාම ශාස්ත්‍රීය විෂයන්, සම්භාව්‍ය භාෂා විෂයන්, සාහිත්‍ය විෂයන් හා සෞන්දර්ය විෂයයන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් ඉවත් කිරීමට උත්සහ දරයි. විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේදී පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය බෞද්ධ අධ්‍යයනය ආදී විෂයන් සඳහා විශේෂ ප්‍රවේශය(අතිරේක ප්‍රවේශය) යටතේ සිසුන් පිරිසක් බඳවා ගනු ලබයි. එලෙස සිසුන් බඳවා ගනු ලබන්නේ මෙම විෂයන් සඳහා අධ්‍යනාංශවල පුරප්පාඩු පවතින බැවින් හා මෙම විෂයන් හැදෑරීමට මූලික විෂය දැනුමක් සපුරා තිබිය යුතු නිසාය. නමුත් පසුගිය වර්ෂවලදී තිබෙන පහසුකම් වලට සරිලන ලෙස වත් සිසුන් බඳවා ගෙන නොතිබුණි.
කැලණිය විශ්වවිද්‍යාලයට 2015 වර්ෂයේ සිට බෞද්ධ දර්ශනය විෂය අධ්‍යයනය කිරීම සඳහා සිසුන් බඳවා ගන්නා ලෙස ඉල්ලීම් කළේ ය.කළ මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වර්ෂයේ එම විෂය සඳහා සිසුන් බඳවා ගන්නා ලදි. නමුත් එලෙස බඳවා ගත්තේ ද ඉතා සුළු ප්‍රමාණයකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පාලි, සංස්කෘත, බෞද්ධ අධ්‍යනය සඳහා පහසුකම් මත 20 බැගින් වත් අවම වශයෙන් සිසුන් බඳවා ගැනීමට පොරොන්දු වී ඇත. නමුත් ගිය වර්ෂයේදීත් පාලි හා සංස්කෘත විෂයයන් සඳහා සිසුන් බඳවා ගන්නා ප්‍රමාණය අඩු කර තිබුණි. බෞද්ධ අධ්‍යයන හැදෑරීම සඳහා එක් සිසුවකුවත් බඳවා ගෙන තිබුණේ ද නැත. රුහුණ විශ්වවිද්‍යාලයට අදාලව කාලයක සිට සංස්කෘත විෂය අධ්‍යයනය කිරීම සඳහා සිසුන් විසින් අධ්‍යනාංශයක් ඉල්ලා සිටිය ද මේ වන තෙක්ම එය ලබාදීමට කළ මැදිහත් වීමක් පෙනෙන්නට නැත. පාලි හා බෞද්ධ අධ්‍යනය වැනි විෂයයන් සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ද වසරින් වසර අඩු කරමින් යයි.
කොළඹ විශ්වවිද්‍යාලයට ද මෙම විෂයන් සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණයෙහි අඩුවක් ගිය වර්ෂය තුළදී දක්නට තිබුණි. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලය තුළ පාලි විශේෂවේදී උපාධියක් දක්වා හැදෑරීමට අවස්ථාව සකසා දෙන ලෙස වසර ගණනාවක සිට ඉල්ලීම් කළ ද ඒ සඳහා මේ වෙන තෙක් පිළිතුරක් ලබා දී නැත. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ද තිබෙන පහසුකම් ප්‍රමාණයටවත් සරිලන ලෙස විශේෂ ප්‍රවේශයෙන් මෙම විෂයන් සඳහා සිසුන් බඳවා නොගනී. ශාස්ත්‍රීය විෂයයන් සඳහා තෝතැන්නක් බඳු වූ බෞද්ධ හා පාලි වැනි විශ්වවිද්‍යාල පුළුල් කර තවත් සිසුන් ප්‍රමාණයකට අධ්‍යාපන අවස්ථා සලසා දිය හැකි ය. නමුත් දැනට අධ්‍යයන කටයුතුවල නියැලෙන ශිෂ්‍යයන්ටවත් ප්‍රමාණවත් තරම් වූ නේවාසිකාගාර එහි නොමැත. අනෙකුත් රජයේ විශ්වවිද්‍යාලවලට ද මෙම ශාස්ත්‍රීය විෂය කප්පාදුව එලෙසම බලපා ඇත.
වෘත්තීය අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය, කළමනාකරණ අධ්‍යාපනය වගේම ශාස්ත්‍රීය අධ්‍යාපනය ද සමාජයට අවශ්‍යම කාලය මෙයයි. ඒ රජයට අවශ්‍ය කරන පුහුණු ශ්‍රමිකයෙකු නිර්මාණය කිරීමට නොව, එම විෂයන් අවශ්‍ය වන්නේ සමාජය තුළ යහපත් ආකල්ප ගොඩ නැගීමටය. නිර්මාණාත්මක චින්තකයන් බිහි කිරීමටය. විචාරශීලී, විමර්ශනශීලී පිරිස් බිහි කිරීමටය. ආකල්ප මට්ටමින් පරිහානියට යන මෙම සමාජයට අවශ්‍ය වන්නේ ද එබඳු විෂය ක්ෂේත්‍රයන් ය.කළ යුත්තේ මුක්කු ගසමින් පවත්වාගෙන යන ආර්ථික ක්‍රමයට අනුව අධ්‍යාපනය වෙනස් කරමින් ආර්ථිකයේ මුක්කුවක් බවට අධ්‍යාපනය පත් කිරීම නොවේ. ඒතුළින් නිර්මාණය වූ නිර්මාණශීලී පුද්ගලයා උරාගත හැකි ආර්ථික ක්‍රමයක් සකස් කිරීමයි. 2019 වර්ෂයේ දී උසස්පෙළ කලා, සෞන්දර්ය හා අනෙකුත් විෂය අංශවලට මුහුණ දුන් සිසුන්ට පවා පසුගිය කාලය තුළ දී පාරට බැස අරගල කරන්න වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ය. එමනිසා වෙළඳපොළ උවමනාව මත සිදුකරන ශාස්ත්‍රීය විෂය කප්පාදුව නවතා, ශාස්ත්‍ර විෂයන් සඳහා විශේෂ ප්‍රවේශයෙන් සිදු කරනු ලබන ශිෂ්‍ය බඳවා ගැනීම් අඩු නොකර සිදු කළ යුතුය.
වෙළඳපොළ උවමනාවට සිදුකරන ශාස්ත්‍රීය විෂය කප්පාදුව නවතනු !
පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය ඇතුලු ශාස්ත්‍රීය විෂයන් සඳහා සිසුන් බඳවා ගනු !
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය
No comments:
Post a Comment