අංකුර වේදිකා නාට්‍ය කරුවන්ගේ නාට්‍ය නිර්මාණ සඳහා මහඟු තෝතැන්නක් වූ සජීවි කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල 2020/21 අවසන් වටයේ තරඟ කටයුතු පැවැත්වීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව ලෙස සියළු කටයුතු සූදානම් කර ඇති බව ප්‍රථමයෙන්ම අපි ඔබට මහත් සතුටින් යුතුව දැනුම් දීමට කැමැත්තෙමු. 2017/18 පැවැත්වූ කෙටි නාට්‍ය උළෙලින් පසු මෙවර සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල පැවැත්වෙන්නේ පහළොස්වන වතාවටයි.
1997 වර්ෂයේ ආරම්භ වූ සජීවි කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල අද දක්වාම පුරා දශක ගණනකට අධික කාලයක් ලාංකීය අංකුර වේදිකා නාට්‍යකරුවන්ගේ නාට්‍ය නිර්මාණ සඳහා වේදිකාවක් සකසා දෙයි.1977 නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ පොදු සමාජයේ උන්නතිය උදෙසා වූ අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන ආදී සියළුම ක්ෂේත්රයන් ප්‍රාග්ධන බූවල්ලාගේ අඬුදඬුවලින් මිරිකෙන විට සවිඥ්ඥානික, තාර්කික හා කලා රසකාමීත්වයන් සහිත ජනතාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් වූ කලා ක්ෂේත්රය ද ලාභ අරමුණු වෙනුවෙන් වාණිජකරනයට ලක් වීම නොවැලැක්විය හැකි විය. 80 දශකය අග භාගයේදී එහි නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව හඬ අවදි කළ අභීත ශිෂ්‍ය පරපුර ඇතුළු සාතිශය බහුතරයක් ජනතාව කුරිරු මර්දනයට යටත් කරමින් මුදා හල “ධවල භීෂණය” අවසානයේ සමස්ත සමාජයේම අයුක්තිය, සමාජ අසාධාරණත්වය හා ආර්ථික සූරාකෑම් අභියස නිර්වින්දනය කෙරිණි. එසේ අවසන් වූ එක් යුගයක ඛේදවාචකයකයෙන් පසු නැවතත් මිනිස් ධූලි මතින් අළු ගසා දා නැගිට ම්ලේච්ඡත්වය කරා දිවෙන සමාජයට මනුෂ්‍යත්වය එන්නත් කරනු වස් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙනු ලබන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මූලිකත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “මාගේ දේශය අවදි කරනු මැන” ශිෂ්‍ය සාහිත්‍ය උළෙලත්, කැලණිය විශ්වවිද්‍යාලයේ “බිහිදොර අබියස” කලා උළෙලත්, රුහුණු විශ්වවිද්‍යාලයේ “ඉඩෝර බිම නිවාලන කඳුරැල්ල” කලා උළෙලත් ආදී වශයෙන් ලාංකීය විශ්වවිද්‍යාල තුළ සංවිධානය කළ කලා උළෙලවලට සමගාමීව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීමෙන් ‘සජීවි කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොව්ට කෙටි නාට්‍ය උළෙල’ සංවිධානය විය.
එතැන් පටන් අප ආ ගමන් මඟ තුළ වර්තමානයේ ලාංකීය වේදිකා නාට්‍ය අවකාශයේ අඬුලුහුඬුකම් පිරවීමට වෙර දරණ බොහෝ නාට්යවේදීන්ටත් රංගධරයන්ටත් වේදිකාවක් ඉදිකිරීමට හැකි වීම පිළිබඳව අප තුළ ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. එක් අතකින් සමාගම් වල ලාභ මඩි තරකර ගැනීම වෙනුවෙන් ද අනෙක් අතින් රාජ්‍යයේ පැවැත්ම සහතික කරගැනීමට රාජ්‍යයට අභියෝග නොවන අයුරින් පවත්වාගැනීම වෙනුවෙන් ද පොදු ජනතාව වෙනුවෙන් වූ කලාව කප්පාදුවට ලක්ව අවසානයේ ඉතිරිවන “රොඩුබොඩු” මිනිස් ඔළු තුළට ඔබ්බවනු වෙනුවට, එවන් කිසිඳු නීති කොන්දේසි සීමාකම් නොමැති වේදිකාවෙන් මහපොළොවට වේදිකාව එදා පටන් අද දක්වා විකල්ප වේදිකා නාට්‍ය කරුවන්ගේ පෙර-මං සලකනු සනිටුහන් කරයි.
එහෙත් වේදිකාවෙන් මහපොළොවට වේදිකාවට පා තබන අංකුර නාට්‍ය කරුවන් ආත්මීය ව බැඳ දමන ප්රපංචයක් වේ නම් ඒ වැඩකරන පීඩිත පංති ජනතාවයි. අති දැවැන්ත මූල්‍ය සමාගම් විසින් ණය විලංගු මඟින් වහල් භාවයට ගෙන ඇති; කාර්මික ධනපතියන් විසින් නග්නත්වය දක්වාම සූරා කා හපකොට ඇති; වෙළඳ ධනපතියන්ගේ හා මාධ්‍ය කථිපයාධිකාරයන්ගේ දෘෂ්ඨිවාදයන්ගෙන් ඇස් අන්ධ කොට ඇති හා පාලකයන්ගේ මනදොළ පිනවීම වෙනුවෙන් වැඩකරන්නට සිදුව ඇති මෙරට පහත මාලයේ ජනතාවටයි. මන් ද යත් ඔබ වෙනුවෙන් තනන වේදිකාවේ සියළු බර දරනුයේ එකී ජනතාව වන බැවිනි. විශ්වවිද්‍යාලයේ සහෝදර සහෝදරියන් ජනතාව ඉදිරියට රැගෙන යන කැටයේ මුව තුළින් වැටෙන කාසි කොළ හෙට දිනයේ වේදිකාවේ අඩු පිරවීමට “ ජනතාවාදී කලාකරුවන්” බිහි කරන ලෙස ඔවුන් විසින් ලබා දෙන අවසරයකි. එමනිසා වේදිකාවෙන් මහපොළොවට වේදිකාවට අවතීර්ණ වන සියළු දෙනාටම එකී වගකීමෙන් මිදිය නොහැකි වනු ඇතැයි අප උදෙක් ම විශ්වාස කරමු.
සමස්ත මනුෂ්‍ය සංහතිය පැවැත්ම ගෝලීය විපර්යාස-වසංගතයක් හා ලෝක යුද්ධ ඉදිරියේ අර්බුදයට ඇද දමා ඇති මොහොතක යහපත් සමාජයක් නිර්මාණය කරනවා ද නැති නම් ම්ලේච්ඡත්වය කරා යනවා ද යන ප්රශ්නය අසනු වෙනුවට, ලෝක විනාශය ද ම්ලේච්ඡත්වය ද යන ප්රශ්නය ඇසීමට සිදුව ඇති මොහොතක නිදිගත් ජනතාවක් අවදි කරනු වස් සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල - 2020/21 අප පවත්වනු ලබන්නේ එනිසාවෙන්මය.
එකී මානවීය කාර්යභාරය ඉටු කරනු වස් පවත්වනු ලබන වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙලෙහි අවසන් වටය එළඹෙන 27/28/29 යන දින වල දී ප.ව.6.00 සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්වෙන අතර ජනතාවාදී කලාවක් වෙනුවෙන් සිහින දකින ඔබ සැමට එම නාට්‍ය නැරඹීම සඳහා අප ආරාධනා කර සිටින්නෙමු.
සාහිත්‍ය අනුකමිටුව,
මහා ශිෂ්‍ය සංගමය,
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල,
නුගේගොඩ.
විමසීම් - 071-0 310 720
No comments:
Post a Comment