Saturday, March 27, 2021

ඔලුවිල් වරායත් නෑ. වෙරළත් නෑ. ඉඩමුත් නෑ. අග්නිදිග සරසවියේ අක්කර විස්සක් මුහුදට...


අග්නිදිග විශ්වවිද්‍යාලය පිහිටි ඔලුවිල් වෙරළ තීරය වසර ගණනාවක පටන් දැඩි මුහුදු ඛාදනයකට ලක්වෙමින් පවතී. මේ වනවිටත් විශ්වවිද්‍යාල භූමියෙන් අක්කර විස්සකට ආසන්න ප්‍රමාණයක් මුහුදට යටවී ඇත. විශ්වවිද්‍යාල භූමිය පමණක් නොව, ඔලුවිල් වරායේ දෙපසට කිලෝමීටර් ගණනාවක් යන තුරු ජනතාවගේ ඉඩම්, නිවෙස්, වෙල් යායවල්, මාර්ග පද්ධති පවා මුහුදට බිලිවෙමින් පවතියි. 2008 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර, ඩොලර් බිලියන 16 ක මුදලක් වියදම් කරමින් 2013 වසරේදී විශාල දේශපාලන සංදර්ශන පවත්වමින් ආරම්භ කළ ඔලුවිල් ධීවර වරාය ඉදිකරන තෙක් මෙවන් ගැටලුවක් ඇති වූයේ නැත. නමුත් එය ස්වභාවික ව්‍යවසනයක් ලෙස හුවා දැක්වීමට රජය දරන වෙහෙස අප්‍රමාණය. මේ වනවිට ඔලුවිල් ධීවර වරායේ පිවිසුම් දොරටුව අඩි 30ට වඩා වැඩි විශාල වැලි පරයකින් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. ජනතා බදු මුදල් ඩොලර් බිලියන 16ක් වියදම් කරමින් ඉදිකල ඔලුවිල් වරායේ මාධ්‍ය සංදර්ශනය පමණක් මේ වනවිට ඉතිරි වී ඇත. දැන් ඔලුවිල් ජනතාවට වරායත් නැත. වෙරළත් නැත. ඉඩම් ටිකත් මුහුදට බිලිවීමට නියමිතය. අග්නිදිග විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සංකීර්ණයක් දැන් මුහුදට මීටර් 50ක් පමණ වන තෙක් ආසන්නව තිබේ. දිනෙන් දින වෙරළ ඛාදනය වෙමින් මුහුද විශ්වවිද්‍යාලය තුළටත් ගම තුළටත් පැමිණෙමින් තිබේ. මේ සඳහා විසඳුම් ලබාදෙන ලෙස වසර තුනක පටන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් හා අවට ගම්වාසීන් එක්ව විවිධ ලෙස බලධාරීන්ට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. 

වෙරළ සංරක්ෂණ අධිකාරිය, වරාය අධිකාරිය, ජනාධිපති, අගමැති, ධීවර හා වරාය ඇමති, අධ්‍යාපන ඇමති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු සියලු බලධාරීන් මේ පිළිබඳව දැනුවත් කොට තිබේ. අවස්ථා දෙකකදී ගල්වැටි දෙකක් විශ්වවිද්‍යාල භූමිය ආවරණය වන පරිදි ඉදි කළ ද එම ගල්වැටි දෙකත් අද වන විට මුහුදට යට වී තිබේ. මේ වනවිටත් විශ්වවිද්‍යාල භූමියෙන් මීටර් 100ක් ආවරණය වන පරිදි ගල්වැටියක් ඉදිකිරීම අරඹා තිබේ. නමුත් ස්ථීරවම එයත් අතීසාරයට අමුඬ ගසන පන්නයේ විසඳුමකි. කිලෝමීටර් ගණනාවක් යනතුරු ඛාදනය වන වෙරළ තීරය මීටර් සියයකට ගල්වැටියක් දමා ආරක්ෂා කරගත නොහැකිය. එහෙයින් මේ සඳහා ස්ථීර විසඳුමක් ඉතා කඩිනමින් අවශ්‍යවී තිබේ. ඛාදනයට ලක්ව කඩාහැලෙන ගොඩනැගිලිවල සුන්බුන් මාධ්‍යයට නොපෙනෙන සේ ඉවත් කිරීමට තිබෙන හදිසිය වෙරළ සංරක්ෂණය කිරීමට තිබුණේ නම් මේ ගැටලු මෙපමණ දුරදිග යන්නේ නැත. එහෙයින් නිසි පරිසර ඇගයීමක් සහිතව මේ ගැටලුව සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස අ.වි.ශි.බ.ම. ලෙස අප බල කර සිටිමු. අග්නිදිග මහාශිෂ්‍ය සංගමයත්, ප්‍රාදේශීය ජනතාවත් එක්ව මේ සඳහා අරගල ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත්ව ආරම්භ කිරීමට අප සංවිධානය වෙමු. පසුගිය දින කිහිපය තුල මාධ්‍ය වල මෙම පරිසර සංහාරය පිලිබඳ කතිකාවතක් ගිය අතර එහිදී ද බලධාරීන් සිදුකල මාධ්‍ය සංදර්ශනය ද මේවන විට හාස්‍ය දනවන තත්වයකට පත්ව ඇත. මාස 4ක් ඇතුලත ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කරන බවට නිළධාරීන්  ප්‍රකාශ කල ද මේ වනවිටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන්නේ අවාරෙට පොල් වැටෙනවාක් මෙනි. එවැනි තත්වයක් මත මාස 4ක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමක් සිදු කල නොහැක. පාලකයන්ගේ කුරිරු නිහඬතාව දැන්වත් බිඳහෙළිය යුතුය. වෙරළ තීරයත්, විශ්වවිද්‍යාලයත්, ජනතා දේපලත් ආරක්ෂා කරගනිමු.

 

මහා ශිෂ්‍ය සංගමය 

අග්නිදිග විශ්වවිද්‍යාලය 

No comments:

Post a Comment