කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත කියූ සැණින් බොහෝ දෙනකුගේ මතකයට නැඟෙනුයේ රත්මලාන ප්‍රදේශයේ දැනටත් පිහිටා ඇති කොතලාවල විශ්වවිද්‍යාලයයි. ඒ අනුව මෙම පනත එම විශ්වවිද්‍යාලයේ කටයුතුවලට සම්බන්ධ ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ අධ්‍යයන කටයුතු සම්බන්ධ පනතක් ලෙස බැලූ බැල්මට කෙනකුට පෙනී යා හැක. නමුත් මේ නව පනත හරහා ස්ථාපිත වන විශ්වවිද්‍යාලය යනු තනි විශ්වවිද්‍යාලයක් නොවන බව පනතේම පහත වගන්ති මඟින් මනාව පැහැදිලි වේ.
1 කොටස
4. විශ්වවිද්‍යාලයේ අරමුණු පහත සඳහන් පරිදි විය යුතු ය.
(ආ) කැඩෙට් නිලධරයන්ට, සන්නද්ධ හමුදාවල නිලධරයන්ට, රාජ්‍ය සේවකයන්ට සහ වෙනත් තැනැත්තන්ට උපාධි, ඩිප්ලෝමා සහ අනෙකුත් ශාස්ත්‍රීය ප්‍රවීණතා ප්රදානය කිරීමට හේතුවන්නා වූ අධ්‍යයන අංශයන් සම්බන්ධයෙන් අධ්‍යයන පාඨමාලා සහ උපදෙස් සැපයීම.
මෙම වගන්තිය අනුව ආරක්ෂක අංශ සාමාජිකයන්ට අමතරව රජය සේවකයන්ට හා ‘වෙනත් තැනැත්තන්ට’ යන්න යටතේ ඕනෑම අයකුට මෙම විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට හැකි වේ.
5. මේ පනතේ විධිවිධානවලට යටත්ව, විශ්වවිද්‍යාලයට පහත දැක්වෙන බලතල තිබිය යුතුය -
(ඌ) විශ්වවිද්‍යාලයේ අරමුණුවලට අවශ්‍ය විය හැකි කාර්මික, වෘත්තීය හෝ වෘත්තීමය ආයතන ද ඇතුළුව දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන ආයතන සමඟ අනුබද්ධව කටයුතු කිරීම.
(ච) විශ්වවිද්‍යාලයට අවශ්‍ය විය හැකි පරිදි වූ මණ්ඩප, විද්‍යාල, පීඨ, අධ්‍යයනාංශ, මධ්‍යස්ථාන, ශාස්ත්‍රීය ආයතන සහ වෙනත් යම් විශේෂිත ආයතන පිහිටුවීම.
මෙම වගන්ති දෙක අනුව සිදු වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යන නාමකරණය යටතේ තවත් විශ්වවිද්‍යාල, මණ්ඩප, විද්‍යාල, පීඨ ආදිය රට පුරා ආරම්භ කිරීමේ බලය අදාළ විශ්වවිද්‍යාලයට හිමිවීමයි. එසේම වෙනත් දේශීය හෝ විදේශීය ආයතන සමඟ අනුබද්ධව කටයුතු කිරීමේ බලයද හිමි වේ. ඒ හරහා සිදුවන්නේ මෙතෙක් මේ රට තුළ සමාගම් පනත යටතේ සමාගම් ලෙස ආරම්භ කර පවත්වාගෙන යන පෞද්ගලික විශ්වවිද්‍යාල හා නිල නොවන මට්ටමෙන් පවත්වාගෙන යන පෞද්ගලික විශ්වවිද්‍යාල සියල්ල කොතලවල විශ්වවිද්‍යාලය යටතේ අනුබද්ධ කර පවත්වාගෙන යෑමට හැකියාව ලැබීමය. පසුගිය කාලයක් තිස්සේ පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කරගැනීමට ආණ්ඩුවලට තිබූ බාධාව සම්පූර්ණයෙන්ම මේ හරහා ඉවත් වීමක් සිදු වේ. ඊට හොඳම උදාහරණය වන්නේ Baticalo Campus නමින් රජයේ අනුග්රහයද ඇතිව ආරම්භ කිරීමට උත්සාහ කළ පෞද්ගලික විශ්වවිද්‍යාලය පිහිටුවීම තවකාලිකව හකුලාගැනීමට ආණ්ඩුවට සිදුවුවද වත්මන් අධ්‍යාපන ඇමැති ජී.එල්.පීරිස් මහතා පසුගිය දිනෙක සඳහන් කරනු ලැබුවේ Baticalo Campus ආයතනය කොතලාවලට අනියුක්ත කිරීමට යෝජනා කරන බවයි.
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඉහත සඳහන් කාර්යන් සිදුකිරීමට 1978 විශ්වවිද්‍යාල පනත අනුව නීතිමය බලතල පවතින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටය. නමුත් මෙම නව පනත අනුව පිහිටුවන විශ්වවිද්‍යාලය සඳහා 1978 විශ්වවිද්‍යාල පනත හෝ ඊට අදාළ කිසිඳු විධානයක් අදාළ නොවන බව එම පනතේම සඳහන් කර ඇත.
5. මේ පනතේ විධිවිධානවලට යටත්ව, විශ්වවිද්‍යාලයට පහත දැක්වෙන බලතල තිබිය යුතුය.
(ඒ) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 128 වන වගන්තියේ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන් වුවද, විශ්වවිද්‍යාලයේ එම ඉගෙනුම් අංශවල අධ්‍යයන පාඨමාලා හදාරා තත්කාර්ය සඳහා සාදන ලද යම් ප්රඥප්තිවලට අනුකූලව එම විභාග සමත් වී ඇති කැඩෙට් නිලධරයන්ට, සන්නද්ධ හමුදාවල නිලධරයන්ට, රාජ්‍ය නිලධරයන්ට සහ වෙනත් තැනැත්තන්ට උපාධි, ඩිප්ලෝමා සහ සහතික සහ වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ඨතා ප්රදානය කිරීම සහ පිරිනැමීම.
54. සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන මේ පනත යටතේ පිහිටුවන ලද විශ්වවිද්‍යාලයට හෝ ඒ සම්බන්ධයෙන් අදාළ නොවිය යුතු ය.
මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යයන හා පරිපාලන කටයුතු කරනු ලබන ව්‍යුහය ඒ අනුව මේ නව විශ්වවිද්‍යාලයට අදාළ නොවේ. ගැටලුව වන්නේ එසේ නම් මෙම විශ්වවිද්‍යාලයට අදාළ තීන්දු තීරණ ගනු ලබන ව්‍යුහය කුමක්ද? එයට ඇතුළත් වන්නේ කවුරුන්ද යන්නය.
මෙම පනත මඟින් පිහිටුවන විශ්වවිද්‍යාලය පවතින්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි. එහි පාලනය සඳහා ව්‍යුහයක්, සාමාජිකයන් හා බලතල මෙම පනත මඟින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමත් සමඟ ඊට අදාළ මණ්ඩලයක් පත් කරනු ලැබේ. එම මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය. අනෙකුත් සාමාජිකයන් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියෝජිතයකු, භාණ්ඩාගාරයේ ලේකම් විසින් පත් කරනු ලබන නියෝජිතයකු මෙහි උපකුලපතිවරයා ද ජනධිපතිවරයා විසින් පත් කරනු ලබන සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විය යුතු බව සඳහන් වේ.
මේ වනවිටත් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු පත් කිරීම් සිට ප්‍රතිපාදන කොමිසමේ කටයුතු දක්වා දේශපාලන අතපෙවීම් සිදුවන බව නොරහසකි. නමුත් එසේ තිබියදීත් විශ්වවිද්‍යාල සම්බන්ධ තීරණ ගැනීමේදී අධ්‍යාපන විෂය සම්බන්ධ ප්‍රවීණයන් ආචාර්යවරුන් හා උපකුලපතිවරුන්ට සාපේක්ෂ ස්වාධීනත්යක් පවතී. නමුත් මෙම නව පනත හරහා හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත තනි ව්‍යුහයක් නිර්මාණය වන අතර ඒ යටතේ රට පුරා ශාඛා පිහිටුවීම සිදු වේ. එමඟින් මෙතෙක් විශ්වවිද්‍යාල සඳහා පැවති සාපේක්ෂ ස්වාධීනත්වය හෝ අහෝසි වී යෑම වැළැක්විය නොහැක.
ඒ අනුව මෙම පනත හරහා පිහිටුවනු ලබන්නේ විශ්වවිද්‍යාලයක් නොව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, වෛද්‍ය සභාව, ඉංජිනේරු ආයතනය ආදී ව්‍යුහයන් සියල්ලේ පූර්ණ බලතල සහිත ඒ සියල්ලට ඉහළින් පවතින ව්‍යුහයකි. එසේම මෙම නව මණ්ඩලය හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, වෛද්‍ය සභාව, ඉංජිනේරු සභාව ආදී ව්‍යුහයන් බල රහිත ව්‍යුහයන් බවට පත්වේ.
ඒ වගේම මේ පනතට අනුව යම් පාඨමාලාවක් සඳහා මුදල් අය කිරීම, කොපමණ මුදලක් අය කරන්නේද යන්න තීරණය කිරීමට මේ මණ්ඩලයට බලය ඇත. ගාස්තු වැඩිවීම් හෝ මුදල් අය කිරීම සම්බන්ධ එම විශ්වවිද්‍යාලයේම කිසිවකුට හෝ ප්‍රශ්න නැඟීමට, සටන් කිරීමට අයිතියක් නැත. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දක්වා මර්දනය කිරීමේ බලය ආරක්ෂක ඇමැතිවරයාට හිමි වේ.
ඒ අනුව මෙම පනත යටතේ පිහිටුවන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ ආරම්භ කරන නව විශ්වවිද්‍යාල, ආයතන, මණ්ඩප සියල්ල පාලනය වන්නේ හමුදා ප්‍රධානීන් අතිනි. එම ආයතන හරහා මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඇතිවන ගැටලු කිවයුතු වන්නේ ආරක්ෂක අමාත්‍යාංශටය. අධ්‍යාපනය විකිණීමට එරෙහි විරෝධතා මර්දනය කිරීමට පසුගිය සෑම ආණ්ඩුවක්ම ක්‍රියා කළ ආකාරය අප දැක ඇත්තෙමු. මෙම පනතින් පසු එම මර්දනය ඍජුවම ක්‍රියාත්මක කරනුයේ ආරක්ෂක අමාත්‍යාංශය හා හමුදා ප්‍රධානීන් හරහාය.
හොඳින් සිතා බලන්න පසුගිය සෑම ආණ්ඩුවකටම මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ සිදු කරගත නොහැකි වූ ප්‍රධාන ප්‍රතිසංස්කරණය නම් අධ්‍යාපනය පෞද්ගලිකකරණයයි. එය සිදු කරගැනීමට හා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමට ගෙනා කිසිදු ව්‍යාපෘතියක් සාර්ථක කරගැනීමට ආණ්ඩුවට නොහැකි වූයේ ශිෂ්‍ය ව්‍යාපාරය ප්රමුඛ බලවේගවලින් එල්ල වූ විරෝධය හා නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා අඛණ්ඩව ගෙනගිය අරගලයයි. එසේම වෛද්‍ය සභාව වැනි ව්‍යුහයන් හරහාද පසුගිය කාලය තුළ ඊට බාධා එල්ල විය. නමුත් මෙම පනත හරහා එම බාධාවන් දෙකම ඉවත් කරගැනීමට සැලසුම් කර ඇත.
බරපතළම කාරණය වන්නේ ආණ්ඩුව ඉදිරියේදී පාසල් අධ්‍යාපනය සඳහා ද ප්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබීමයි. එම ප්‍රතිසංස්කරණවල ඉලක්කය ඉතා පැහැදිලිවම අධ්‍යාපනය විකිණීම හා වෙළෙඳපොළට අවශ්‍ය අධ්‍යාපනයක් සකස් කිරීමයි.
Baticalo Campus ආයතනය කොතලාවලට අනුබද්ධ කිරීමට යෝජනා වන්නේත්, 2019 උසස් පෙළ කඩයිම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට සැලසුම් කරන්නේත්, හොර රහසේ මෙම පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේත් අධ්‍යාපනය විකිණීම නීතිගත කිරීම මිලිටරි බලහත්කාරය යොදාගනිමින් සිදු කිරීමටයි. අවසානයේ මෙම පනත හරහා නිර්මාණය වන්නේ තනි ආයතනයකට අදාළ කාරණයක් නොව රට පුරා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදාළ නීතිමය තත්ත්වයයි. ඒ නිසාවෙන්ම මෙම පනත නව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතයි.
මෙම පනත සම්මත වුවහොත් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ තල දෙකක් නිර්මාණය වේ. එනම් පොදු බඳවාගැනීම් පටිපාටියක් යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා අනෙකුත් ව්‍යූහයන්වල අධීක්ෂණය යටතේ උපාධි ලබන්නන් සහ ඉහත කිසිදු ව්‍යුහයක අධීක්ෂණයකින් පිළිගැනීමකින් තොරව උපාධි ලබන්නන්ය. දැනටමත් මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් වෙන්වන ප්‍රතිපාදන බරපතළ ලෙස කප්පාදු කර ඇති තත්ත්වයක් තුළ මෙකී තල දෙක අතර විෂමතාව විසින් නිදහස් අධ්‍යාපනය වළපල්ලට යෑම වැළැක්විය නොහැක.
එසේ නම් නිදහස් අධ්‍යාපනය රැකගත යුතු යැයි සිතන, එමෙන්ම අධ්‍යාපනයෙන් ලැබෙන විනය යනු Yes සර් No සර් පන්නයේ විනයක් නොවන බව සිතන, විශ්වාස කරන කිසිවකුට මෙම පනතට එකඟවීමේ කිසිදු හැකියාවක් නොමැත. මිලිටරි බලහත්කාරය පාවිච්චි කරමින් හෝ අධ්‍යාපනය විකිණීමට ගෙන එන මෙම ව්‍යාපෘතිය පරාජය කිරීමට නම් පුළුල් සටන් මධ්‍යස්ථානයක් අවශ්‍යය. සයිටම් සටන ජග්‍රහණය දක්වා ගෙන ගියේ සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය ලෙස අ.වි.ශි.බ.ම මූලික වී ගොඩනැඟූ සටන් මධ්‍යස්ථානයයි. නිදහස් අධ්‍යාපනය වැනසීමට ගෙන එන මෙම මිලිටරි පනත පරාජයට පත්කිරීමට සියලු දෙනා එක්ව ශක්තිමත්ව සටන් කිරීමට අප ඔබ සියලු දෙනාට ආරාධනා කරන්නෙමු!
වසන්ත මුදලිගේ,
කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
(උපුටා ගැනීම -: 2021-05-02 දිවයින පුවත්පතෙන්)
No comments:
Post a Comment