ජයවර්ධනපුර සරසවියේ ඉංජිනේරු පීඨය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් දෙසැම්බර් 31 දින සංවිධානය කර තිබේ. මේ සඳහා දේශපාලනඥයින් සම්බන්ධ කරගැනීමට විශ්වවිද්‍යාල පරිපාලනය ගෙන ඇති තීරණය සිසුන්ගේ දැඩි අප්‍රසාදයට පත්ව තිබේ. ජපුර ඉංජිනේරු පීඨ සංකීර්ණය සහ තාක්ෂණ පීඨ සංකීර්ණය වහා ඉදි කරන ලෙසත්, සිසුන්ගේ අධ්‍යයන සුබසාධන ගැටලු විසඳන ලෙසත් බලකරමින් පසුගිය කාලය පුරාම මහා ශිෂ්‍ය සංගමය අඛණ්ඩ අරගලයක් ක්‍රියාත්මක කළ අතර තාක්ෂණ පීඨය ඉදි වූයේත්, දැන් ඉංජිනේරු පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ වන්නේත් එම අඛණ්ඩ සිසු අරගලයේ ප්‍රතිඵල ලෙසිනි. විශ්වවිද්‍යාලයට වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු කරමින් සිසුන් කබලෙන් ලිපට ඇද දමන ප්‍රතිපත්තියක් පාලකයන් ක්‍රියාත්මක කළ අතර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සුබසාධන ගැටලු දිනෙන් දින ඉහළ යාමට ද මෙය ප්‍රබල හේතුවක් විය. උද්ඝෝෂණ, පාගමන්, සංකේත සත්යග්රහ, සාකච්ඡා, ලිපි යොමු කිරීම් රාශියක් ක්‍රියාත්මක කරමින් මෙම ගැටලුව විසඳන ලෙස සිසුන්ට පසුගිය කාලය පුරාම අරගල කරන්නට සිදුවිය. ඉංජිනේරු සහ තාක්ෂණ පීඨ සංකීර්ණ ඉදි කිරීමට පාලකයන්ට තීරණය කිරීමට සිදුවන්නේ සිසුන් සිදුකළ එම බලපෑම නිසා වන අතර දැන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට මෙතෙක් කල් අකුල් හෙලූ දේශපාලනඥයන් සම්බන්ධ කරගැනීම විහිලුවකි. සරසවි යනු දේශපාලනඥයන්ට ලකුණු දමාගැනීමට සැකසූ වේදිකා නොවන අතර එවැන්නන්ගේ ඇඟිලිගැසීම් සරසවිවලට අවශ්‍ය වන්නේ ද නැත. මේ පිළිබඳව සඳහන් කරමින් හා විරෝධය පල කරමින් ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමය අද උපකුලපතිවරයාට ලිපියක් යොමු කර ඇති අතර එය පහතින් උපුටා තිබේ.
වසර ගණනක අරගලයකින් පසුව දිනාගත් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල පසුගිය කාලයේ සිසු විරෝධය නොතකා දේශපාලන සංදර්ශනයක් පවත්වා විවෘත කළ අතර 2020.12.31 ඉංජිනේරු පීඨ ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට දේශපාලනඥයන් ගෙන්වා එය ද දේශපාලන සංදර්ශනයක් කිරීමේ උත්සාහයක් මේ වනවිට පවතියි. මෙහිදී විශේශයෙන්ම පැහැදිලි කළයුතු කරුණ වන්නේ තාක්ෂණ පීඨය හෝ ඉංජිනේරු පීඨය හෝ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලැබුනේ යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණඩායමක මැදිහත්වීමකින් හෝ දේශපාලනඥයන්ගේ මැදිහත්වීමකින් නොවන බවයි. වසර ගණනාවක පංති තහනම්, ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් රාශියක් සමඟ සිසුන්ගේ අසීමිත කැපකිරීම් වල ප්රථිඵලයක් ලෙස ලබාගත් මෙම පීඨ දෙකේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ඉල්ලා සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට විරෝධතා පාගමනකින් ගිය අවස්ථාවේදී එවකට උපකුලපති වර්තමාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සිදුකළේ මහා ශිෂ්‍ය සංගමයේ හා පීඨ ශිෂ්‍ය සංගම්වල සිසු ක්‍රියාකාරීන්ගේ නිවෙස්වලට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ හෙංචයියන් යවා බියවැද්දීමය. සඳහන් කළයුතු විශේෂම කරුණ වන්නේ දමිළ සිසු ක්රියාකාරිකයන්ගේ නිවෙස්වලට යවා තිබුනේ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් වීමය.
එවැනි බියවැද්දීම්, සිසු මර්දනයන්, විශාල කැපකිරීම් රාශියක ප්රථිඵලයක් ලෙස දිනාගත් තාක්ෂණ පීඨය හා ඉංජිනේරු පීඨය යනු මුළුමහත් ශිෂ්‍ය ව්‍යාපාරය විසින්ම සටන් කොට දිනාගත් දෙයක් මිස රිදී බන්දේසියක තබා අප වෙත පිළිගැන්වූ දෙයක් නොවේ. මේ වනවිටත් ඉංජිනේරු පීඨයේ මුල්ගල තැබීමේ උත්සවය දේශපාලන සංදර්ශනයක් කිරීමට අදාල වටපිටාව සැකසෙමින් පවතින ආකාරය අපට පෙනී යන අතර එයට අපගේ දැඩි විරෝධතාවය ප්‍රකාශ කර සිටිමු. යම් හෙයකින් සිසු විරෝධතාවය නොසලකා එම උත්සවය දේශපාලන සංදර්ශනයක් කිරීමට කටයුතු කළහොත් සිසුන් ලෙස අප දැඩි ක්‍රියාමාර්ග වලට එළඹීමට පසුබට නොවන බවද කියා සිටිමු.
මහා ශිෂ්‍ය සංගමය - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment