Wednesday, September 23, 2020

කොතලාවලට අනුමැතිය දෙන්නැයි ඉංජිනේරු ආයතනයට දේශපාලන බලපෑම්...


 කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය මඟින් පිරිනමන ඉංජිනේරු උපාධියට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අනුමැතිය හිමිවී නැත. ඒ ඉංජිනේරු ආයතනය විසින් ඉංජිනේරු අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වාගැනීම සඳහා බලාපොරොත්තු වන පරිසාධන මට්ටම් සම්පූර්ණ නොවීම හේතුවෙනි. අවස්ථා කිහිපයකදීම කොතලාවල ඉංජිනේරු උපාධියට IESL අනුමැතිය ඉල්ලා තිබුණත් එය ඉංජිනේරු ආයතනය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. උපාධි ලබාදීමට මූලික සුදුසුකම ලෙස 'මුදල්' සාධකය සලකා බැලෙන ආයතනයක අධ්‍යාපනයේ ගුණාත්මකභාවය යනු තර්කානුකූලවම පවත්වාගත නොහැක්කකි. ලාභ අරමුණ මුදුන්පත් කරගැනීම උදෙසා ගුණාත්මකභාවයේ නිර්ණායක නොසලකා කටයුතු කිරීමට උපාධි කඩ නිතැතින්ම පෙළඹේ. කොතලාවල ඉංජිනේරු උපාධියට IESL අනුමැතිය ලබාගැනීමට නොහැකි වී ඇත්තේ මෙම මූලික හේතුව නිසාවෙනි. 

කෙසේ නමුත් සැප්.14 දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයෙන් යුතු ලිපියක් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙත යොමු කරමින්  සැප්.22 (ඊයේ) පෙ.ව. 11ට සාකච්ඡාවක් සඳහා කැඳවා තිබේ. සාකච්ඡා කර ඇත්තේ කොතලාවල ඉංජිනේරු උපාධියට IESL අනුමැතිය නොදෙන්නේ මන්ද යන කරුණ වන අතර සාකච්ඡාව කැඳවා ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පවතින්නේම ආරක්ෂක අමාත්‍යාංශය යටතේය.  ආරක්ෂක අමාත්‍යාංශය එහි පරිපාලනය නියෝජනය කරයි. එවිට මේ සාකච්ඡාව සඳහා ඉංජිනේරු සභාව කැඳවන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින්මය. මෙය ස්වාධීන ආයතනයක් ලෙස ඉංජිනේරු අධ්‍යාපනයේ ගුණාත්මකභාවය කෙරෙහි මැදිහත්වන ඉංජිනේරු සභාවේ ස්වාධීනත්වය බරපතල ලෙස හෑල්ලු කිරීමකි. 

IESL අනුමැතිය නොමැත්තේ කොතලාවල ඉංජිනේරු උපාධියට පමණක් නොවේ. රජයේ විශ්වවිද්‍යාලවල ඉංජිනේරු උපාධි සඳහා අනුමැතිය ලබාදී තිබෙන්නේ ද පේරාදෙණිය, රුහුණ හා මොරටුව විශ්වවිද්‍යාල වලට පමණි. විවෘත විශ්වවිද්‍යාලය, අග්නිදිග, ජයවර්ධනපුර ඇතුළු විශ්වවිද්‍යාලවල ඉංජිනේරු උපාධි සඳහා IESL ස්ථීර අනුමැතිය නැත. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් ඉංජිනේරු පීඨ සඳහා IESL අනුමැතිය නොමැත්තේ මන්දැයි කිසිඳු බලධාරියෙක් මෙතෙක් විමසා බැලීමක් සිදුකර නැත. සිසුන් වසර ගණනාවක් පුරා ඒ සඳහා ලිපි යොමු කරමින්, සාකච්ඡා ඉල්ලමින්, විවිධ අරගල ක්‍රියාමාර්ග ගනිමින් අනුමැතිය ඉල්ලා සිටිය ද මෙතෙක් ඒ සඳහා මැදිහත්වීමක් රජය සිදුකර නැත. නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක වන ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් ඉංජිනේරු පීඨ පිළිබඳ නොමැති කැක්කුමක් අධ්‍යාපනය විකුණන උපාධි කඩයක් කෙරෙහි දක්වන්නේ කුමක් සඳහා ද යන්න පැහැදිලිය. රජ⁣යේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පෞද්ගලිකකරණය ඉලක්ක කරගත්තකි. අධ්‍යාපනය ලාභ සෙවිය හැකි ව්‍යාපාරයක් සේ සලකා ප්‍රතිපත්ති සකසන්නට කටයුතු කරන විට අධ්‍යාපනයේ නියම අරමුණ කුමක්ද යන්න අමතක වෙයි. එවිට එය හුදු වෙළඳ භාණ්ඩයක් පමණක් සේ සැලකෙන බැවිනි. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් ඉංජිනේරු පීඨවල අධ්‍යයන සුබසාධන ගැටලු රාශියක් පවතී. උදාහරණයක් ලෙස ජයවර්ධනපුර සරසවියේ ඉංජිනේරු පීඨයට ස්ථීර පීඨ ගොඩනැගිල්ලක්වත් නැත. දේශන ශාලා නැත. එම පීඨවලට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කරන්නට රජයට කිසිඳු හදිසියක් නැත. අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිපාදන වෙන් වන්නේ ද නැත. එම පීඨවලට IESL  අනුමැතිය නොමැත්තේ මන්දැයි පීඨාධිපතිවරුන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වන්නේ ද නැත. අධ්‍යාපනය විකුණන උපාධි කඩයකට IESL අනුමැතිය දීමට මැදිහත් වන්නේ එවන් තත්ත්වයක් රජයේ විශ්වවිද්‍යාලවල පවතින අතරතුරය. 

එහෙයින් කොතලාවල ඉංජිනේරු පීඨයට අනුමැතිය ලබාදීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයට කෙරෙන බලහත්කාරී මැදිහත්වීම තරයේ හෙළාදැකිය යුතුය. කොතලාවලට IESL අනුමැතිය ලබාදීමට මෙම බලහත්කාරී මැදිහත්වීම කරන්නේ අධ්‍යාපනය මුදලට විකිණීමේ අරමුණ මුදුන් පමුණුවාගැනීම සඳහා වන අතර එම වැඩපිළිවෙළ වහාම හකුලාගත යුතු බවට ආණ්ඩුවට සියලු ජනතාව විසින් බල කළ යුතුය.

No comments:

Post a Comment