Wednesday, November 3, 2021

මර්දනයට එරෙහිව අන්තරේ මානව හිමිකම් යයි!




මර්දනයට එරෙහිව අන්තරේ මානව හිමිකම් යයි!

අද (03) දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා සිරගත කර සිටින අන්තරේ කැදවුම්කරු ඇතුළු සහෝදර සහෝදරියන් 05 දෙනාගේ ඥාතීන් ද සමග මානව හිමිකම් කොමිසම් සභාව වෙත යන ලදී. ඒ සිරගත කර සිටින අන්තරේ කැදවුම්කරු සහෝදරයා ඇතුළු සිසු ජන නායකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව පැමිණිලි කිරීමටයි.

එහිදී මෙම පැමිණිල්ලට අදාලව වග උත්තර කරුවන ලෙස කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, දේශබන්දු තෙන්නකෝන් මහතා සහ තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා නම් කර ඇත. පැමිණිල්ලට අදාලව,

• මහා මාර්ග ආඥා පනත මගින් නඩු පැවරිය යුතු සිදුවීමකට පොලීසිය හිතාමතාම ඇප ලබා ගැනීමට නොහැකි වන අයුරින් පොදු දේපළ පනතින් නඩු දැමීම හා චේතනාන්විතව මැදිහත් වීම.

• කෝශිලා හංසමාලි සහ චමීර කොස්වත්ත යන අයට සාක්ෂි නොමැති නිසාවෙන් පොදු දේපළ පනතින් නඩු පැවරිය නොහැකි බව පොලීසියම අධිකරණයට කරුණු වාර්තා කර ඇති මොහොතකත් අධිකරණය මගින් ඔවුන්ව රදවා තබා ගැනීම.

•අන්තරේ කැදවුම්කරු සහෝදරයා අත්අඩංගුවට ගත් දින පොලීසියේ දී තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ දුරකථනය මාරගයෙන් දේශබන්දු තෙන්නකෝන් පොලිස් අධිකාරීවරයා අන්තරේ කැදවුම්කරුට තරජනය කිරීම හා එම ප්‍රකාශ අද වනවිට සනාථ වීම.

•ගොණු කර ඇති චෝදනා ඔප්පු කිරීමට තරම් කිසිදු සාක්ෂියක් නොමැති මොහොතකත් අද වනවිට මාස 03 ක් දක්වා අත්තනෝමතික ලෙස රදවා තබා ගැනීම හා දේශපාලන මැදිහත් වීම

යන කරුණු ඉදිරිපත් කළ අතර ඉදිරියේදී පොලීසිය, අධිකරණය හා යුක්තිය පසිඳලීමේ ආයතන වල ක්‍රියා කලාපය හා ආණ්ඩුවේ හිතවාදී නොවන පුද්ගලයන් මර්දනය කිරීම හා අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ අයිතිය උදුරා ගැනීම ආදී මූලික අයිතිවාසිකම් කඩකිරීමට අදාලව ජාත්‍යන්තර මානවහිමිකම් ආයත වලට ද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව අ.වි.ශි.බ.ම පවසයි.








No comments:

Post a Comment