Saturday, September 18, 2021

අපිත් ඒ පැත්තේ - ගියා රත්වත්තේ!

 

අපිත් ඒ පැත්තේ - ගියා රත්වත්තේ!

පසුගිය 13 දින අ.වි.ශි.බ.ම බන්ධනාගාර කොමසාරිස්වරයා හමුවීමට ගියේය. ඒ බන්ධනාගාරය තුළදී කොවිඩ් වසංගතයට ගොදුරු කළ සිසුජන ක්‍රියාකාරීන් පිළිබඳව සත්‍ය ⁣තොරතුරු දෙන ලෙස ඉල්ලීමටය. එදින බන්ධනාගාර මූලස්ථානයට කොමසාරිස්වරයා පැමිණියේ අ.වි.ශි බ.ම සාමාජිකයන් එහි සිටින අතරතුරමය. අප ඇවිත් ඉන්නේ කුමක් සඳහාදැයි නිලධාරීන්ගෙන් ඇසූ ඔහු සිය කාර්යාලයට ගියේය. පැය ගණනාවකට පසු නිලධාරියෙකු අත පණිවිඩයක් එවන ලදී. "හතර දෙනෙක් CRP ඉන්නවා. කෝෂිලා අඹේපුස්සෙ ඉන්නවා. අපිට කියන්න පුළුවන් එච්චරයි". එවිට අපට කොමසාරිස්වරයා හමුවීමට නොහැක්කේ ඇයිදැයි විමසීමු. නිලධාරියා ආපසු ගොස් කොමසාරිස් හමුවිය. පැමිණි පිළිතුර මෙසේය. "කොරෝනා හින්දා කවුරුවත්ම ඇතුළට ගන්නෙ නෑ. දවසම හිටියත් හම්බවෙන්න බෑ" එවිට අප ආවේ සිසුජන ක්‍රියාකාරීන් සිටින තැන් අහගෙන යාමට නොවන බවත්, බන්ධනාගාර භාරයේ සිටියදී ඔවුන්ට කෝවිඩ් වැළඳුනේ කෙසේද, ප්‍රතිකාර නොකරන්නේ ඇයි, අත්‍යවශ්‍ය ඖෂධ - ඇඳුම් - සබන් - දත්බෙහෙත් වැනි මූලික දේවල්වත් ලබාදීමට නොහැකි ඇයි' දැයි විමසීමු. "කොරෝනා හැමතැනම තියෙනවා. ඒකට අපිට කරන්න දෙයක් නෑ. එළියෙන් කිසිම කෙනෙක් එන්නත් බෑ. කිසිම දෙයක් දෙන්නත් බෑ. ඔක්කොම තහනම් කරල තියෙන්නෙ. එයාලට ඇඳුම් ඕනිනම් අපෙන් ඉල්ලන්න කියන්න. ඔයාලා ඔය ගේට්ටුවෙන් මේ පැත්තට ආපු එකත් වරදක්. උසාවියට ගිහින් ප්‍රශ්න විසඳගන්න. මෙහෙට එන්න එපා!"  පිළිතුරු එබඳුය. මීට පෙර දිනක කෝෂිලාට ආහාර ද්‍රව්‍ය සපයාගැනීම සඳහා ආපන ශාලාවට මුදල් බැඳීමට ගිය මිතුරෙකුට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල්වීමට ඉඩ නොදුන්නේ ඔහු කොට කලිසමකින් සැරසී සිටි ⁣නිසාය. බන්ධනාගාර ආඥා පනත අනුව එය වරදක්ලු!

දින කිහිපයකට පෙර ලොහාන් රත්වත්තේ අනුරාධපුර හා වැලිකඩ බන්ධනාගාරවල සිරිනැරඹීමට ගිය පුවතක් වාර්තා විය. ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය ඇමතිය. මිතුරු, මිතුරියන් සමඟ බීමත්ව, ආයුධ සන්නද්ධව ලොහාන් බන්ධනාගාරයට ඇතුළු වී ඇත. සිරකරුවන් දණ ගස්වා, හිසට පිස්තෝලය තබා තර්ජනය කර ඇත. වැලිකඩ බන්ධනාගාරයට ඇතුළත්වී බන්ධනාගාර නිලධාරීන් රැස් කොට දේශන පවත්වා ඇත. එදා අපිට බන්ධනාගාර නිලධාරීන් පැවසූ පරිදි බන්ධනාගාර ආඥා පනත අනුව එහි ගේට්ටුවෙන් ඇතුල්වී විමසීම් කවුළුව වෙත පැමිණීමත් වරදකි. කොට කලිසම් ඇඳීමත් වරදකි. ලොහාන් ඒ සියල්ල කර ඇත. ⁣ගේට්ටුවෙන් ඇතුල් වූවා පමණක් නොව බීමතින් සිරමැදිරි ගානේ ඇවිදිමින්, එල්ලුම්ගහ බැලිය යුතු බව කියමින් යකා නටා ඇත. කෝවිඩ් නිසා පැනවූ අලුත් නීති අනුව පිටතින් දෙන කිසිම ද්‍රව්‍යයක් (ආහාරපාන, ඇඳුම්පැළඳුම්, බේත්හේත්) බන්ධනාගාර තුළට ගන්නේ නැත. නමුත් ලොහාන්ට මිතුරු මිතුරියන් සමඟ බන්ධනාගාරය තුළට ඇතුල්වීමටත්, එතුළ තැන තැන ඇවිදීමටත් හැකි වී ඇත. සිරකරුවන් මැදිරිවලින් එලියට ගැනීමටත්, ඔවුන් දණ ගැස්වීමටත්, හිසට පිස්තෝලය තබා තර්ජනය කිරීමටත් නිලධාරීන් බලා සිටියදී ලොහාන් රත්වත්තේට හැකි වී ඇත. ආයුධ සහිතව බන්ධනාගාර පරිශ්‍රයක හැසිරීම නීතිය ඉදිරියේ බරපතල වරදකි. බන්ධනාගාර කොමසාරිස්වරයා ලොහාන්ගේ කසල රෙදි සෝදමින් එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බව මාධ්‍ය හමුවේ පවසා තිබේ. දැන් නවතම තත්ත්වය වන්නේ තමන් එවැන්නක් කළේද නැද්ද යන්න බන්ධනාගාරයේ CCTV දර්ශන මගින් බලාගත හැකි බව ලොහාන් රත්වත්තේ පවසන අතර බන්ධනාගාර කොමසාරිස් වැලිකඩ හෝ අනුරාධපුර බන්ධනාගාරවල CCTV නැති බව පැවසීමයි. බන්ධනාගාර කොමසාරිස්වරයා ලොහාන් රත්වත්තගේ නිරුවත සිය ඇඳිවතෙන් වසාගෙන සිටියි.

ඒ අනුව ලොහාන් වැන්නන්ට එක් බන්ධනාගාර ආඥා පනතකුත්, අප ඇතුළු සාමාන්‍ය ජනයාට වෙනත් ආඥා පනතකුත් ඇති බව පෙනී යයි. නැතිනම් මේ වන විටත් ලොහාන් බන්ධනාගාර ආඥා පනතට අනුව අත්තඩංගුවට පත්වී සිටිය යුතුය. සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ලොහාන් අත්තඩංගුවට පත්විය යුතුය. රටේ සාමාන්‍ය ජනතාවට නිරෝධායන ඇඳිරි නීතිය කියමින් සංචරණ සීමා පනවා ඇති මොහොතක, අද සංචරණ සීමා කඩ කළ මෙපමණ දෙනෙක් අත්තඩංගුවට ගත්තායැයි දිනපතා මාධ්‍ය වාර්තා කරන මොහොතක ලොහාන්ට මිතුරු මිතුරියන් සමඟ විනෝද ගමන් යාමට හැකි වී ඇත. පසුගිය දිනවල උද්ඝෝෂණය කළ පිරිස් අත්තඩංගුවට ගත් නල්ලමලේ නිරෝධායන පනත රත්වත්තේලාට අදාළ වී නැත. නිරෝධායන නීති, අයුතු ජනරාශි, පොදු දේපල හානි කියමින් සිසුජන ක්‍රියාකාරීන්ට නඩු පැවරීමට යුහුසුළු වූ ආණ්ඩුව මේ වන තෙක් ලොහාන් ඇතුළු පිරිසට එරෙහිව විනය පරීක්ෂණයක්වත් තබා නැත. 

ආයුධ සන්නද්ධව පුද්ගලයන්ට බන්ධනාගාර තුළට ඇතුළුවීමට, එම අයුතු ඇතුළුවීම් පිළිබඳව තොරතුරු සඟවමින් බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන්ට කටයුතු කිරීමට හැකි තත්ත්වයක් යටතේ රැඳවියන්ගේ ජීවිත සම්බන්ධව බරපතල අවදානමක් මතුවීම වැළැක්විය නොහැකිය. 

චෝදනාවලින් නිදහස් වීමට ලොහාන් රත්වත්තේ බන්ධනාගාර ඇමති ධූරයෙන් ඉවත් වුණු බවට සංදර්ශනයක් පවත්වමින් ඇත. ඔහු තවමත් රාජ්‍ය ඇමතිවරයෙකි.

 ඇප නොදී සිරගත කළ යුත්තේ මෙවැනි පුද්ගලයන් වන නමුත් ආණ්ඩුව සිරගත කරගෙන සිටින්නේ අයිතීන් වෙනුවෙන් හඬනැගූ සිසුජන ක්‍රියාකාරීන්ය. තක්කඩියන් ආරක්ෂා කරමින්, විරුද්ධ මතධාරීන් සිරගත කරන - ඔවුන්ගේ ජීවිත බිලිගැනීමට සැලසුම් කරන ආණ්ඩුවේ උම්මන්තක වැඩපිළිවෙළට එරෙහි වෙමු. සිසුජන ක්‍රියාකාරීන් ඇතුළු සියලු බන්ධනාගාර රැඳවියන්ගේ ජීවිතාරක්ෂාව වෙන්වෙන් හඬ අවධි කරමු!

No comments:

Post a Comment