Tuesday, September 14, 2021

රජයේ වෛද්‍ය පීඨ සිසුන්ට කොතලාවලට එන්න කියන්නෙ ඇයි? අ.වි.ශි.බ.ම


රජයේ වෛද්‍ය පීඨ සිසුන්ට කොතලාවලට එන්න කියන්නෙ ඇයි? 
අ.වි.ශි.බ.ම

රාජ්‍ය විශ්වවිද්‍යාලවල ලියාපදිංචි  වෛද්‍ය පීඨ සිසුන් සියයකට ආසන්න ප්‍රමාණයකට කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් ලිපි යොමු කර තිබේ. ඒ කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වන ලෙස දැනුම් දෙමිනි. 

2019 උසස්පෙළ කඩඉම් ලකුණු ගැටලුව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අ.වි.ශි.බ.ම සාකච්ඡා කරන විට අසාධාරණයට පත් වූ සිසුන්ගෙන් සිය දෙනෙක් කොතලාවලට බඳවාගන්නා බවත්, ඔවුන්ට රජයෙන් මුදල් වෙන් කරන බවත් පැවසීය. නමුත් අ.වි.ශි.බ.ම එයට විරෝධය පල කරමින් එම මුදල් ලාභ මූලික කරගත් කොතලාවල උපාධි කඩයට වෙන්කරනවා වෙනුවට රජයේ වෛද්‍ය පීඨ සඳහා වෙන් කොට වැඩිපුර සිසුන් බඳවාගත යුතු බව අවධාරණය කරන ලදී. වයඹ, සබරගමුව, මොරටුව විශ්වවිද්‍යාලවල පිහිටුවා ඇති නව වෛද්‍ය පීඨ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළේ නම් තව සිසුන් විශාල ප්‍රමාණයක් බඳවාගත හැකිය. නමුත් ආණ්ඩුවේ උවමනාව වූයේ කෙලෙස හෝ කොතලාවල උපාධි කඩයට සිසුන් ඇතුළත් කරගෙන මුදල් ගරා ගැනීමයි.

මේ හා සමාන අත්දැකීමක් සයිටම් අරගලය තුළද හමුවෙයි. සයිටම් අහෝසි කර එහි සිසුන් වයඹ, සබරගමුව වෛද්‍ය පීඨවලට බඳවාගැනීම අ.වි.ශි.බ.ම හා සිසුජන ව්‍යාපාරයේ ඉල්ලීමයි. නමුත් එයට ප්‍රතිපක්ෂව ආණ්ඩුව සිදු කළේ එම සිසුන්ට රජයෙන් මුදල් වෙන් කරන බව කියමින් කොතලාවලට ඇතුළත් කරගැනීමයි. අවසානයේදී රජයෙන් ලබාදෙන බව කියූ මුදල් ද ⁣ඔවුන්ට නොලැබී ගිය අතර උපාධිය වෙනුවෙන් කොතලාවල කඩයට මිලියන ගණනින් මුදල් ගෙවීමට සයිටම් සිසුන්ට සිදුවිය. දැන් ඒ උගුලේම 2019 වසරේ උසස්පෙල සමත්ව රජයේ වෛද්‍ය පීඨවල ලියාපදිංචි වී සිටින සිසුන් පැටලවීමට යයි. අවම වශයෙන් කොතලාවලට බඳවාගන්නේ සරසවි අවස්ථා නොලැබී අසාධාරණයට පත් වූ සිසුන්වත් නොවේ. 

ආණ්ඩුව කරන මෙම අත්තනෝමතික වැඩපිළිවෙළ තුළින් නොවැළැක්විය හැකි ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය නැවතත් වියවුල් වෙයි. උදාහරණයක් ලෙස පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් කොතලාවල ලියාපදිංචි වන්නේ නම් එම පුරප්පාඩු පිරවීමට සමසෞඛ්‍ය, පශු වෛද්‍ය වැනි පීඨවල දැනට ලියාපදිංචි වී සිටින සිසුන් දන්ත වෛද්‍ය පීඨයට ගැනීමට සිදුවෙයි. එවිට සිදුවන්නේ පශු වෛද්‍ය පීඨය, සම සෞඛ්‍යා පීඨය තුළ නැවත පුරප්පාඩු ඇති වීමයි. ඒ සඳහා කිසිඳු වැඩපිළිවෙළක් රජයට නැත. වැඩිපුර සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවාගැනීම රජය ප්‍රතිපත්තිවල නැත. රජයේ ප්‍රවේශය ප්‍රතිපාදන, බඳවාගැනීම් කප්පාදු කර රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දිය කර හැරීමයි. 

කොතලාවල විශ්වවිද්‍යාලයට අදාළව මේ මොහොතේ නව පනතක් ඉදිරිපත් වී තිබේ. එයට එරෙහිව දැවැන්ත ජනතා අරගලයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. වසංගතය අභිමුව වූවද ආචාර්යවරුන්, ගුරුවරුන්, සිසුන්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුළු සිසුජන ව්‍යාපාරය කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය කළේ එහි ඇති විනාශකාරී වැඩපිළිවෙළ නිසාය. නමුත් ඇතිවූ ජනතා විරෝධය තඹයකට මායිම් නොකරමින් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව කොතලාවල පනත සම්මත කරගැනීමට කුරුමානම් අල්ලමින් සිටියි. රජයේ විශ්වවිද්‍යාලවල සිසුන්ට කොතලාවලට ඇතුළත් වන ලෙස ලිපි යොමු කිරීම මෙම පනත සම්මත කරගැනීම සඳහා කොතලාවල සුජාතකරණය කරගැනීමේ නිහීන උත්සාහයකි. ජනතා විරෝධය හේතුවෙන් ⁣පාර්ලිමේන්තුව තුළ පනත සම්මත කරගැනීම අවස්ථා දෙකකදී  කල් තැබීමට ආණ්ඩුවට සිදු වූ අතර දැන් කල් මරමින්, සංශෝධන ඉදිරිපත් කරමින් අවශ්‍ය ජනතා ද්‍රෝහී ඉලක්කයට යාම සඳහා මඟ එළිපෙහෙලි කරගනිමින් සිටියි. මෙම ක්‍රියාවලිය ඒ සඳහා ප්‍රබල උදාහරණයකි. අනෙක් පසින පනතට එරෙහි වූ සිසුජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් මර්දනය කරමින් සිටියි. මෙවන් කටයුතු තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුව කොතලාවල පනත සම්මත කරගැනීමේ ප්‍රයත්නය තවදුරටත් දරමින් සිටින බවයි. 

මේ පිළිබඳව සඳහන් කරමින් අ.වි.ශි.බ.ම පසුගිය  සැප.12 දින මාධ්‍ය හමුවක් කැඳවන ලදී. එහි සබැඳිය පහත දැක්වේ.

https://www.facebook.com/175313902573851/posts/3944255569012980/


No comments:

Post a Comment