Monday, September 13, 2021

අපිට ඇත්ත තොරතුරු දෙන්න! අන්තරේ බන්ධනාගාර මූලස්ථානයට...

අපිට ඇත්ත තොරතුරු දෙන්න! අන්තරේ බන්ධනාගාර මූලස්ථානයට...

සිරගත කර සිටින සිසුජන ක්‍රියාකාරීන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳ සත්‍ය තොරතුරු වහා හෙළිදරව් කරන ලෙස බල කරමින් අද දින ඔවුන්ගේ නිවැසියන් සමඟ අ.වි.ශි.බ.ම බන්ධනාගාර මූලස්ථානයට  යන ලදී. මින් සතියකට පමණ පෙර ද අප බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් භාරදීමට බන්ධනාගාර මූලස්ථානයට ගිය අතර එමගින්ද පවසා සිටියේ බන්ධනාගාරගත කර සිටින සිසුජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වසංගතයට ගොදුරුවීම පිළිබඳව වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් භාරගත යුතු බවත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතු බවත්ය.

නමුත් නැවතත් කෝෂිලා හංසමාලි සහෝදරිය අසනීප වී ඇති බවත් දින හතරක් ගතවන තුරුත් කිසිඳු ප්‍රතිකාරයක් හෝ අවම වශයෙන් වෛද්‍ය පරීක්ෂණයක්වත් සිදුකර නොමැති බවත් ආරංචි විය. ඇය⁣ගේ අසනීප තත්ත්වය පිළිබඳව සැලවීමත් සමඟ සිසුජන ව්‍යාපාරයේ සාමාජිකයන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, තානාපති කාර්යාල, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන රැසක් දැනුවත් කර ඔවුන් ලවා බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් කරුණු විමසූ පසු පෙරේදා (10) දින වෛද්‍යවරයෙක් පැමිණ පරීක්ෂා කර තිබිණි. 

එහිදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය නෙගටිව් වූ බවත්, ඇයට කෝවිඩ් වැළඳී නැති බවත්, කළබල නොවී සිටින ලෙසත් කරුණු විමසූ නිවැසියන්ට  බන්ධනාගාර බලධාරීන් පවසා තිබිණි. 

කෝෂිලා හංසමාලි සහෝදරිය වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් ස්ථානයකට හදිසියේ රැගෙන ගොස් ඇති බව එයින් දින දෙකකට පසු (12) නැවත ආරංචි විය. කරුණු විමසූ විට එවර බන්ධනාගාර බලධාරීන් පැවසූයේ කෝෂිලාට කොවිඩ් ආසාදනය වී ඇති බවත්, එහෙයින් අඹේපුස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානයකට මාරු කොට යැවූ බවත්ය. 

මෙලෙස බන්ධනාගාර බලධාරීන් වරින් වර එකිනෙකට වෙනස් තොරතුරු පැවසීමත්, ප්‍රතිකාර කිරීමටවත් උනන්දුවක් නොදැක්වීමත්, අනෙක් පසින් ඇපදිය හැකිව තිබියදී ඇප නොලැබීමත්, විනිසුරුවරුන් නඩු දින මඟ හරිමින්, නඩු කල් තබමින් සිතාමතා කල් ඇදෙන්නට සැලැස්වීමත්, සිසුජන ව්‍යාපාරයේ අනෙකුත් ක්‍රියාකාරීන්ට සිදුකරන පොලීසියේ හා ආණ්ඩුවට සම්බන්ධ වෙනත් නාඳුනන කල්ලි කණ්ඩායම්වල කඩාකප්පල්කාරීන්ගේ මැදිහත්වීමත් ආදී සියල්ල සලකා බලන කල මොවුන් බන්ධනාගාර තුළදී වසංගතයට ගොදුරු කර ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන්නේදැයි බරපතල සැකයක් මතුවීම වැළැක්විය නොහැකිය.

අද දින බන්ධනාගාර කොමසාරිස්වරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා අවස්ථාවක් දෙන ලෙසත් ඉල්ලා සිටියද එය කොමසාරිස්වරයා විසින් මඟහරින ලදී. පසුව වෙනත් නිලධාරීන් පිරිසක් පැමිණ සිව්දෙනෙක් CRP බන්ධනාගාරයේ සිටින බවත්, කෝෂිලා අඹේපුස්ස මධ්‍යස්ථානයක සිටින බවත් දිය හැකි තොරතුරු එපමණක් බවත් පවසන ලදී. 

ආණ්ඩුව විරුද්ධවාදීන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටී. මර්දන යන්ත්‍රයේ සියලු අංගෝපාංග ඒ සඳහා මුවහත් කරගෙන තිබේ. වසංගතය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රශ්න කරන්නවුන්ට මරණ වරෙන්තු දීමට පාවිච්චි කරමින් තිබේ. මේ පිළිබඳව අප සියලු ප්‍රගතිශීලීන්ගේ අවධානය යොමු කරන අතර කොතලාවල පනතට, මර්දනයට එරෙහ් වන මෙන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.










No comments:

Post a Comment