Monday, September 13, 2021

කෝෂිලාටත් කොවිඩ් පොසිටිව්! ආණ්ඩුවේ අලුත්ම වෙඩි උණ්ඩය වසංගතයද?


කෝෂිලාටත් කොවිඩ් පොසිටිව්! ආණ්ඩුවේ අලුත්ම වෙඩි උණ්ඩය වසංගතයද?

කොතලාවල පනතට එරෙහි වීම හේතුවෙන් අත්තඩංගුවට ගත් සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි සහෝදරිය බන්ධනාගාරය තුළදී ⁣වසංගතයට ගොදුරු කර තිබේ. 

ඇය අගෝ.03 දින රාත්‍රියේ අත්තඩංගුවට ගත් අතර මාසයකුත් දින 10 ක් පුරා බන්ධනාගාරය තුළ රඳවාගෙන සිටියි. සැප්. 05 වෙනිදා පමණ සිට ඇයට උණ වැළදී අසාධ්‍යව සිටි අතර දින හතරක් ගත වන තුරු වෛද්‍ය පරීක්ෂණයක් තබා පැනඩෝල් පෙත්තක්වත් ලබාදී නැත. 09 දින වෛද්‍යවරයෙකු පැමිණ ඇය පරීක්ෂා කරන්නේ බන්ධනාගාර අධිකාරීවරයාගෙන්, බන්ධනාගාර ඇමතිවරයාගෙන් අවස්ථා කිහිපයකදී විවිධ බාහිර පාර්ශව ලවා ද කරුණු විමසූ පසුය. ඒ අනුව සැප්.10 දින ඇය PCR පරීක්ෂණයකට ලක් කළ අතර එහි ප්‍රතිඵල ඒ අනුව ඇයට කොවිඩ් රෝගය වැළඳී ඇත. ඉන් පසු ඊයේ දිනයේම වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් ස්ථානයකට ඇය රැගෙන ගොස් තිබේ. කලක පටන් කෝෂිලා සහෝදරිය ශ්වසනාබාධයකින් පෙළෙන අතර ඇයට අවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබාදීමට පවා බලධාරීන් මින් පෙර ඉඩ ලබාදුන්නේ නැත. දැන් ඇයගේ සත්‍ය තත්ත්වය කුමක්දැයි බලධාරීන් තොරතුරු සඟවමින් සිටියි. 

පවතින නීතියට අනුව වෙනදා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබිය හැකි වැරදි කළ පුද්ගලයින්ට පවා මෙම දිනවල උසාවියෙන් ඇප නියම කරමින් සිටියි. ඒ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් නිකුත් කළ නව චක්‍රලේකය අනුවය. හෙරෝයින් ග්‍රෑම් දෙකට වැඩි ප්‍රමාණයක් යමෙක් සතුව තිබී හසු වූයේ නම් නීතියට අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ. නමුත් වසංගතය නිසා නිකුත් කළ නව චක්‍රලේකය අනුව හෙරොයින් ග්‍රෑම් 05ක් ලග තබාගත්ත ද ඇප නියම කළ හැක. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මකා දැමූ පුද්ගලයාට ද චෝදනා ගොනු කර තිබුණේ පොදු දේපල පනතින් වන අතර ඔහුට එක් දිනකින් ඇප නියම විය. කෝෂිලා ඇතුළු සිසුජන ක්‍රියාකාරීන් සිදුකර ඇත්තේ එවැනි කුමන වරදක් ද? ඔවුන්ට චෝදනා ගොනු කර ඇත්තේ පොදු දේපල පනතිනි. ඒ පාර මත තබා කාඩ්⁣බෝඩ් පෙට්ටියක් පිළිස්සීම හේතුවෙන් පොදු දේපලක් හානි වූවා යැයි කියමිනි. වාහනයක් ගිනි ගත්තත් විශාල හානියක් නොවන මහ පාරකට කාඩ්⁣බෝඩ් පෙට්ටියක් ගිනි තැබීමෙන් සිදුවන හානිය කුමකද යන්න ඕනෑම කෙනෙකුට ඇතිවන ප්‍රශ්නයකි. එහෙයින් බැලූ බැල්මටම කෝෂිලා ඇතුළු සිසුජන ක්‍රියාකාරීන් සැලසුම් සහගතව සිතාමතා රඳවා තබාගෙන සිටින බව පැහැදිලිය. ඔවුන්ට අදාළ නඩුව කැඳවෙන දිනවල එක්කෝ මහේස්ත්‍රාත්වරයා නිවාඩු දමා ඇත. එක්කෝ නඩු දිනය කල් දමා ඇත. එතැන් පටන් නීතිය, යුක්තිය පසිඳලීමට තිබෙනවායැයි කියන සියලු රාජ්‍ය යාන්ත්‍රණයම ආණ්ඩුවේ මෙම කුමන්ත්‍රණයට හවුල් වී තිබේ. 

මින් පෙර ආණ්ඩු විරෝධීන් ඝාතනය කළ අයුරු පිළිබඳව අපට අත්දැකීම් ඕනෑවට වඩා තිබේ. අ.වි.ශි.බ.ම ජනක, සිසිත සහෝදරවරුන් දෙදෙනා ඝාතනය කළේ 2012 සැප්. 27 දින වාහන අනතුරක් මවා පාමිනි. එම ඝාතනයට චෝදනා ලැබූ එවක ආරක්ෂක ලේකම් දැන් ජනාධිපති වී සිටී. රොෂේන් චානක, හලාවත ඇන්ටනී වෙඩි තබා මරා දමන ලදී. මාධ්‍යවේදීන්, විරුද්ධ මතධාරීන් සිය ගණන් අතුරුදහන් කරන ලදී. දැන් වසංගතයක් පැතිර යන අතරතුර එය  භාවිතා කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වන්නන් ඝාතනය කිරීමේ සැලසුමක් ආණ්ඩුව ඇස් පනාපිට ක්‍රියාත්මක කරමින් සිටියි. මෙය ඉතා බරපතල තත්ත්වයක් වන අතර සියලු ජනතාව, සියලු ප්‍රගතිශීලීන් එක්ව ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ම්ලේච්ඡ කුමන්ත්‍රණය පරාජය කළ යුතුය.


No comments:

Post a Comment