Tuesday, September 21, 2021

සිරගත කර දින 50 යි! සිසුජන ක්‍රියාකාරීන්ට අදත් ඇප නෑ!



සිරගත කර දින 50 යි! සිසුජන ක්‍රියාකාරීන්ට අදත් ඇප නෑ! 

අ.වි.ශි.බ ම කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිරගත කළ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයන් 05 දෙනාට අදාළ නඩුව අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිනි. අද දිනයේත් නීතීඥවරුන් ඇප අයදුම් කළ ද කඩුවෙල උසාවියේ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක විසින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව නඩුව ඔක්.05 දින දක්වා නැවත කල් තැබීය. 

වර්ග අඩි 09 ක කාඩ්⁣බෝඩ් පෙට්ටියක් පිළිස්සීම ⁣ඔවුන්ට ඇති ප්‍රබලතම චෝදනාවයි. කාඩ්⁣බෝඩ් පෙට්ටිය පිළිස්සීම හේතුවෙන් මහා මාර්ගයට බරපතල ලෙස හානි සිදුවී ඇති බවත් හානියේ තක්සේරු වටිනාකම රු.179,000 ක් ලෙසත් පොලීසිය උසාවියට කරුණු ඉදිරිපත් කර ඇත. මීට අමතරව අගෝ.03 පැවති උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන් යකඩ බැරියර් අතින් තල්ලු කිරීම හේතුවෙන් ඒවාට රු.30,000 ක හානියක් සිදුවී ඇති බවද තලංගම පොලීසිය විසින් උසාවියට වාර්තාකර තිබේ. කඩුවෙල උසාවියේ මහේස්ත්‍රාත්වරයා සිසුජන ක්‍රියාකාරීන්ට ඇප ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්නේ මෙම 'සාතිශය බරපතල' චෝදනා හේතුවෙනි! ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තොරතුරු විනාශ කිරීමටත් වඩා කාඩ්⁣බෝඩ් පෙට්ටියක් ගිනිතැබීම බරපතල වරදක් බව සමස්ත ලෝකයම පළමු වරට දැනගත්තේ සිසුජන ක්‍රියාකාරීන්ට අදාළ මෙම නඩු කටයුත්ත හේතුවෙනි.

නිරෝධායන නීති භාවිතා කරමින් විරෝධතා මර්දනය කිරීම මෙතෙක් ආණ්ඩුවේ උපක්‍රමය වූ අතර එය අසාධාර්ථක වූ තැන පොදු දේපල පනත වැනි අණපනත් භාවිතා කරමින් විරෝධතා මර්දනය කිරීම සිදුකරයි. ආණ්ඩුවට විරුද්ධව සමාජජාලවල සටහන් තැබූ ඇතැම් පුද්ගලයන් අත්තඩංගුවට ගෙන තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමිනි. කඩිමුඩියේම හදිසි නීතිය පනවා ගැනීම  සිදුකළේ ද වෘත්තීය අරගල මර්දනය කිරීමේ අරමුණෙනි. ජනතා ඉල්ලීම් ඉදිරියේ ආණ්ඩුවේ ප්‍රතිචාරය එවැන්නකි. එහෙයින් අයිතීන් වෙනුවෙන් වඩ වඩාත් ශක්තිමත්ව, එක්සත්ව අරගල කිරීම හැර වෙනත් මාවතක් නැත. ජන අරගල මඩින ආණ්ඩුවේ මර්දනීය වැඩපිළිවෙළ පරාජය කළ හැක්කේ ද එයට එරෙහි දැවැන්ත ජන අරගලයකින්ම පමණි. ආණ්ඩුවට පමණක් නොව, ජනතාව යුක්තිය බලාපොරොත්තුවෙන් පැමිණෙන ආයතනවල සිට ආණ්ඩුවේ හොරිකඩ කසන ඇතැම් දූෂිතයන්ට ද පාඩමක් ඉගැන්විය හැක්කේ අරගලයෙන්ම පමණි. 


No comments:

Post a Comment