Monday, September 20, 2021

2019 A/L සිසුන් තවත් අමාරුවේ දාන්න එපා! වහාම රජයේ විශ්වවිද්‍යාලවලට බඳවගන්න - අ.වි.ශි.බ.ම

 


2019 A/L සිසුන් තවත් අමාරුවේ දාන්න එපා! වහාම රජයේ විශ්වවිද්‍යාලවලට බඳවගන්න.

2019 කඩඉම් ලකුණු ගැටලුවෙන් විශාල සිසුන් පිරිසක් අසාධාරණයට ලක්විය. අ.වි.ශි.බ.ම සහ සිසුජන ව්‍යාපාරය විසින් සිසුන්, දෙමාපියන් සමඟ අඛණ්ඩව  කරන ලද අරගලය හමුවේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට වරද භාරගැනීමටද සිදුවිය. අවසාන⁣යේ වැඩිපුර සිසුන් ප්‍රමාණයක් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමට තීරණය විය. ඒ අනුව 

වෛද්‍ය පීඨවලට - 110

දන්ත වෛද්‍ය පීඨවලට - 30

විද්‍යා පීඨවලට - 150

කළමනාකරණ පීඨවලට - 150

ඉංජිනේරු පීඨවලට - 100

තාක්ෂණ පීඨවලට - අවමය 200 යි (මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ක්‍රියාත්මක වන අතර තවමත් එය අවසන් නැත. UGC ඉදිරිපත් කළ සිසුන් 200 සීමාවට අ.වි.ශි.බ.ම එකඟ නොවූ අතර ඉදිරියේදී ඒ පිළිබඳව තීන්දු කෙරෙනු ඇත) 

වශයෙන් නවක බඳවාගැනීම් වැඩි කිරීමට අරගලය හමුවේ ආණ්ඩුව එකඟ විය. නමුත් දැන් වෛද්‍ය පීඨවලට බඳවාගන්නා බව කී සිසුන් සියයක් කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයට බඳවාගැනීමට ආණ්ඩුව කැස කවමින් සිටියි. පනතත් සමඟ කොතලාවල උපාධි කඩය සම්බන්ධව බරපතල ගැටලු රැසක් උද්ගතව ඇති අතර මෙම සිසුන් දඩමීමා කරගනිමින් ආණ්ඩුව එම ගැටලු යට ගැසීමේ නින්දිත උත්සාහයක නිරත වෙමින් සිටී. කොතලාවල මිලිටරි ඇකඩමියට සිවිල් සිසුන් බඳවාගැනීම දැනට පවතින නීති ඉදිරියේ ද සාවද්‍ය කරුණකි. නමුත් 2019 වසර අසාධාරණයට පත් සිසුන් දඩමීමා කරගනිමින් දැන් ආණ්ඩුව එම නීතිමය පසුබිම සකස් කරගැනීමට උත්සාහ කරයි. මේ පිළිබඳව අ.වි.ශි.බ.ම අද මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කළ අතර මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරන ලදී. එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වූ සිසුන් කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයට බඳවාගැනීම සම්බන්ධව අ.වි.ශි.බ.ම අද නිකුත් කළ මාධ්‍ය නිවේදනය

 ------------------------------------------------------------------

2019 වසරේ උසස්පෙළ විභාගයේ කඩයිම් ලකුණු ගණනය කළ ක්‍රමවේදය දෝෂ සහිත වීම හේතුවෙන් සුදුසුකම් සහිත සිසුන් විශාල පිරිසකට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි විය. ඒ අනුව මෙම අසාධාරණයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යපාරය දෙමාපියන් හා උසස්පෙළ සිසුන් සමඟ අඛණ්ඩ අරගලයක නිරත විය. එම අරගලය හමුවේ 2019 උසස්පෙළ විභාගයට අදාළව විෂය ධාරා ගණනාවකට සිසුන් බඳවාගැනීම් ඉහළ දැමීමට ආණ්ඩුවට සිදු විය.

ඒ අනුව මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ වෛද්‍ය පීඨ සඳහා වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට අමතර සිසුන් 110 ක් බඳවාගැනීමට තීරණය කෙරිණ. එසේ නම් මේ වන විට එම අමතර සිසුන් සිය දෙනා වෛද්‍ය පීඨවල ලියාපදිංචි කළ යුතුව ඇත. නමුත් ආණ්ඩුව සිදුකරමින් සිටිනුයේ මෙම සිසුන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට බඳවාගැනීම වෙනුවට කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඇතුල් කිරීමට සැලසුම් කිරීමයි.

ඒ අනුව මේ වන විටත් දන්ත වෛද්‍ය පීඨ සඳහා ලියාපදිංචි වී සිටින සිසුන්ට කොතලවල පෞද්ගලික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්වීමට අදාළ පරීක්ෂණ සඳහා පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මෙය බරපතල තත්ත්වයකි.

ආණ්ඩුව කොතලාවල පනත ගෙන එනු ලැබුයේ නිදහස් අධ්‍යපනය විකිණීම හා මිලිටරීකරණය කිරීම සඳහාය. එය ආකාර දෙකකට සිදු කිරීමට පසුගිය කාලයේ උත්සාහ දැරීය. කොතලාවල පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සමාන්තර මිලිටරි ව්‍යූහයක් ගොඩනැගීම එයින් එක් ආකාරයකි. එයට බරපතල විරෝධයක් එල්ල වෙද්දී කොතලාවල උපාධි කඩය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පවතවාගෙන යාමට අදාළව විශ්වවිද්‍යාල පනත වෙනස් කිරීමට යෝජනා කෙරිණ. ඒ හරහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස තහවුරු කිරීමට උත්සාහ කරනු ලැබීය. මෙම යෝජනා දෙකටම ප්‍රබල විරෝධයක් එල්ල වීමත් සමඟ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම කල් දැමීමට ආණ්ඩුවට සිදු විය.

ඒ අනුව කොතලාවල පනත සම්මත වී හෝ කොතලාවල උපාධි කඩය ප්‍රතිපාදන කොමිසම යටතට අනුයුක්ත කර හෝ නොමැත. නමුත් පනත සම්මත කිරීමේ අරමුණ වන අධ්‍යාපනය විකිණීම හා මිලිටරීකරණය කිරීම සඳහා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍යයින් කොතලාවලට ඇතුළත් කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටි. ඒ මඟින් සිදුවන්නේ අනාගතයේ සම්මත  කිරීමට බලාපොරොත්තු වන නීතිමය තත්ත්වයකට අදාළව වර්තමානයේ ක්‍රියාත්මක වීමයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ අරමුණ වූයේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට පුහුණුව හා මිලිටරි උසස් අධ්‍යාපනය ලබාදීමයි. නමුත් මේ වන විට එම අරමුණුවලට පටහැනිව සිවිල් සිසුන් මුදල් අය කිරීමේ පදනම මත බඳවාගැනීම් සිදුකරනු ලබයි. එනම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ සිවිල් සිසුන්ට අධ්‍යාපනය විකිණීමේ අංශයක් ක්‍රියාත්මක වේ. මෙහි මුල් අරමුණු පමණක් ක්‍රියාත්මක වීම එනම්, ආරක්ෂක අංශ සාමාජිකයින්ට පුහුණුව හා මිලිටරි අධ්‍යාපනය ලබාදීම ගැටළුවක් නොවේ. නමුත් මිලිටරි බලය භාවිතා කරමින් සිවිල් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය විකිණීමේ අංශය වහා වසා දැමිය යුතුය. එහි ආරම්භක පියවරක් ලෙස නැවත සිවිල් සිසුන් බඳවාගැනීම වහාම නතර කළ යුතුය.

මෙම සිසුන් බඳවාගැනීම සිදුකරනු ලබන්නේ රජය මගින් ජනතා බදු මුදල් කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයට ගෙවීමේ පදනම මතය. මෙම සිසුන්ට වෛද්‍ය පීඨයකට ඇතුල්වීමේ අවස්ථාව අහිමි වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වරද නිසාවෙනි. එසේනම් මොවුන් ඇතුළත් කළ යුත්තේ කොතලාවල උපාධි කඩයට නොව ජාතික විශ්වවිද්‍යාල පද්ධතියටය. ඒ සඳහා රජයේ වෛද්‍ය පීඨ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සිදු කළ හැකිය. නමුත් වයඹ, සබරගමුව නව වෛද්‍ය පීඨවල මෙන්ම රජරට, නැගෙනහිර ඇතුළු වෛද්‍ය පීඨවල සම්පුර්ණ කළ යුතු අඩුපාඩු සකස් කිරීමට හෝ ප්‍රතිපාදන වෙන් නොකරන ආණ්ඩුව කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයට ප්‍රතිපාදන වෙන් කිරීමේ අරමුණ පැහැදිලිය. මෙම සිසුන් යොදා ගනිමින් අධ්‍යාපනය විකිණීම හා මිලිටරීකරණය සඳහා කොතලාවල ආයතනය සාමාන්‍ය විශ්වවිද්‍යාල මට්ටමට ගෙන ඒම ආණ්ඩුවේ අරමුණයි.

2019 කඩඉම් ලකුණු ගැටලුව හේතුවෙන් බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය ඉහළ දැමීමත් සමඟ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව දන්ත වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාලයේ පාලක සභාව එකඟ විය. නමුත් මේ වන තෙක් ඊට අදාළ  නීතිමය ප්‍රතිපාදන හෝ මුල්‍ය ප්‍රතිපාදන සපයා දී නොමැත. එසේ තිබියදී පවතින නීතිමය තත්ත්වයන්වලට පවා පටහැනිව සිසුන් කොතලාවලට ඇතුලත් කිරීම බරපතල තත්ත්වයකි.

එම නිසා අප ආණ්ඩුවට දැඩිව අවධාරණය කරනුයේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුලත්වීමට සුදුසුකම් ලැබූ සිසුන් වහාම ප්‍රතිපාදන වෙන් කොට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරන ලෙසත් එම සිසුන් කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම වහාම නවතා දමන ලෙස සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ සිවිල් සිසුන්ට මුදලට උපාධි විකිණීම නවතා දමන ලෙසත්ය.

No comments:

Post a Comment