Thursday, September 9, 2021

තානාපති කාර්යාල රැසක් සමඟ සිසුජන ව්‍යාපාරය සාකච්ඡා කරයි!


තානාපති කාර්යාල රැසක් සමඟ සිසුජන ව්‍යාපාරය සාකච්ඡා කරයි!

නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් ඊයේ (08) තානාපති කාර්යාල කිහිපයක් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. 

1. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය

2. නෙදර්ලන්ත තානාපති කාර්යාලය

3. නෝර්වේ තානාපති කාර්යාලය 

4. ඕස්ට්‍රේලියා තානාපති කාර්යාලය 

5. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය 

6. ඇමරිකානු තානාපති කාර්යාලය 

7. යුරෝපා සංගමය

8. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් මේ සඳහා නියෝජිතයන් සම්බන්ධ විය. සිසුජන ව්‍යාපාරය ලෙස අ.වි.ශි.බ.ම සහ වෘත්තීය සමිති, බහුජන සංවිධාන කිහිපයක් සාකච්ඡාවට සහභාගී විය.

කොතලාවල පනතට එරෙහිව සිසුජන ව්‍යාපාරය විසින් ගෙන යන අරගලයට එල්ල වී ඇති රාජ්‍ය මර්දනය පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදී. නිරෝධායන නීති අවභාවිතා කරමින් විරෝධතාකරුවන් අත්තඩංගුවට ගැනීමත්, ඔවුන්ට බන්ධනාගාරය තුළදී කොවිඩ් ආසාදනය වීමට සැලැස්වීමත්, ව්‍යාජ චෝදනා නගමින් සහ ඇතැම් විට විනිසුරුවරුන් පවා නඩු දින මගහරිමින් සැලසුම් සහගතව සිසුජන ක්‍රියාකාරීන් සිරගත කර තබාගැනීම පිළිබඳවත්,  සිසුන්, වෘත්තීය සමිති නායකයින් හා ආචාර්යවරුන් පසුපස හඹා එමින් වපුරන භීෂණය සම්බන්ධවත් මෙහිදී සාකච්ඡා විය. අ.වි.ශි.බ.ම විසින් පසුගිය සති කිහිපය තුළ සිදු වූ මර්දන සිදුවීම් පිළිබඳ වාර්තාවක් විදෙස් සංවිධාන වෙත මින් පෙර යොමු කළ අතර වෙනත් තානාපති කාර්යාල, මානව හිමිකම් සංවිධාන සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරනු ලැබේ. 

සැලසුම් සහගතව සිරගත කර සිටින අ.වි.ශි.බ.ම කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජපුර මහා ශිෂ්‍ය සංමගයේ සභාපති අමිල සංදීප හා කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත සහෝදරවරුන් මේ වන විටත් කොවිඩ් ආසාදිතව පසුවන අතර අනෙක් සහෝදරවරුන්ද දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටී. ඔවුන්ට අවශ්‍ය ඖෂධ, ඇඳුම් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ලබාදීමට නොදෙන අතර අවම වශයෙන් නීතීඥ සහාය ලබාගැනීමේ අයිතියත් උල්ලංඝනය කර තිබේ. මේ පිළිබඳව කරුණු විමසමින් අ.වි.ශි.බ.ම විසින් බන්ධනාගාර අධිකාරියට ලිපියක් භාරදුන් අතර අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කරන ලදී. නමුත් කිසිඳු ප්‍රතිචාරයක් වගකිවයුතු පාර්ශවයන් විසින් නොදක්වන අතර එහෙයින් සිරගත කර සිටින සහෝදරවරුන් වසංගතයට ගොදුරු කර ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව බරපතල සැකයක් තිබේ. එහෙයින් මේ පිළිබඳව දැනුවත් කළ හැකි සියලු සංවිධාන දැනුවත් කිරීමත්, විදෙස් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමත් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.


No comments:

Post a Comment