Tuesday, October 5, 2021

කොතලාවල පනතට එරෙහිවූ සිසුජන නායකයින්ට අදත් ඇප නෑ!

 

කොතලාවල පනතට එරෙහි වූ සිසුජන නායකයින්ට අදත් ඇප නෑ! 

කොතලාවල පනතට එරෙහිව අගෝ.03 උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සිසුජන ක්‍රියාකාරීන් 05 දෙනාට අදාළ නඩු දෙකක් අද කැඳවිණි. ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී හා හෝමාගම මහාධිකරණයේදීය. අද දිනයේදීත් ඔවුන්ට ඇප නියම නොකෙරිණි. මහේස්ත්‍රාත් නඩුව ඔක්.12 දින දක්වාද, මහාධිකරණ නඩුව ඔක්.15 දක්වාද නැවත කල් තබන ලදී.

අ.වි.ශි.බ.ම කැඳවුම්කරු වසන්ත මුදලිගේ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත, ජපුර ම.ශි.ස සභාපති අමිල සංදීප, රජරට මහා ශිෂ්‍ය සංගමයේ හේෂාන් හර්ෂණ සහ කෝෂිලා හංසමාලි සහෝදරිය මෙලෙස මාස දෙකකට අධික කාලයක් පුරා සිරගත කරගෙන සිටී. මොවුන්ට අදාළව ඇති චෝදනාව වන්නේ කාඩ්⁣බෝඩ් පෙට්ටියක් පිළිස්සීමයි. වර්ග අඩි නවයක කාඩ්⁣බෝඩ්වලින් සැකසූ මිනී පෙට්ටි ආකෘතියක් අගෝ.03 විරෝධතාවේදී පුළුස්සා තිබේ. දෙමසකට අධික කාලයක් සිරගතවීමට සිදු කළ වරද එයයි. එම කාඩ්⁣බෝඩ් පිළිස්සීමේදී මාර්ගයට රු. 179,510.82 ක හානියක් සිදුවූ බවත් මාර්ගය හරහා දමා තිබූ යකඩ බැරියර් පෙරලීම හේතුවෙන් බැරියර්⁣ දෙකකට රු. 34,122.60 ක හානියක් සිදුවූ බවත් පවසා පොදු දේපල පනත යටතේ චෝදනා ගොනුකර තිබේ.

සැකකරුවන්ට අදාළව වෙන වෙනම සාක්ෂි ගොනු කරන ලෙස තලංගම පොලීසියට අධිකරණය විසින් නියම කර තිබූ අතර අද දිනයේදී එම සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කරන ලදී. එහිදී අත්අඩංගුවේ පසුවන කිසිවෙකුට අදාළව එල්ල කර ඇති චෝදනා සනාථ කළ නොහැකි බව නීතීඥවරුන් විසින් පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම පොලීසිය ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා තුළ කෝෂිලා හංසමාලි ස⁣හෝදරයගේ නමවත් සඳහන් වන්නේ නැත. ඡායාරූප, වීඩියෝ සාක්ෂි තුළින්ද මෙම කිසිඳු අයෙකුට අදාළව පොලීසිය ඉදිරිපත් කරන චෝදනා සනාථ නොවේ. ඇප නියම නොකර දෙමසකට අධික කාලයක් තිස්සේ මෙම සිසුජන ක්‍රියාකාරීන් සිරගත කරගෙන සිටින්නේ එවැනි තත්ත්වයක් තිබියදීය. ඒ අනුව මොවුන්ට ඇප ලබාදිය හැකි අතර ඇප ලබා නොදීමට අදාළය ආණ්ඩුවේ සෘජු මැදිහත්වීමක් 'ස්වාධීන' අධිකරණයට සිදුවෙයි. සරත් වීරසේකර වැනි ඇමතිවරු මේ පිළිබඳව පසුගිය දිනවල කටමැත ⁣දොඩවන අයුරු මාධ්‍ය මගින්ද වාර්තා කරන ලදී. 

හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම්පතට අදාළව නීතිපති විරෝධතා ගොනු කිරීමට තිබුණේ පසුගිය සැප්.17 දිනය. නමුත් එදින ඔවුන් කල් ඉල්ලූ බැවින් නඩුව සැප්.21 දිනට කල් තබන ලදී. එදිනද නීතිපති කරුණු දැක්වීම නොකළ අතර යළිත් කල් ඉල්ලන ලදී. අද දින දක්වා නඩුව නැවත කල් ගියේ ඒ අනුවය. දැන් අද දිනයේද නීතිපතිගේ විරෝධතා දැක්වීම් සිදු ⁣නොකළ අතර යළිත් ඔවුන් කල් ඉල්ලන ලදී. එම නඩුව ඔක්.15 දක්වා අද නැවත කල් දමන ලද්දේ ඒ අනුවය. 

⁣⁣

No comments:

Post a Comment