Tuesday, October 26, 2021

අධිකරණයෙන් යුක්තිය ඉටු නොවේ. සිසුජන නඩුව ජනතා අධිකරණයට භාර දෙමු!



අධිකරණයෙන් යුක්තිය ඉටු නොවේ. සිසුජන නඩුව ජනතා අධිකරණයට භාර දෙමු!

අ⁣ගෝ.03 පාර්ලිමේන්තු පිවිසුම අසල කොතලාවල පනතට එරෙහිව පැවති විරෝධතාවට සම්බන්ධ වීම හේතුවෙන් සිරගත කළ සිසුජන ව්‍යාපාරයේ නායකයින් වහා නිදහස් කරන ලෙස බල කරමින් අ.වි.ශි.බ.ම සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය ඊයේ (26) කඩුවෙල උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී. ඒ සඳහා සිසුජන ව්‍යාපාරය නියෝජනය කරමින් සියයකට ආසන්න පිරිසක් සම්බන්ධ වී සිටියහ. 

සිරගත කළ සිසුජන ක්‍රියාකාරීන්ට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ඊයේ (26) කඩුවෙල උසාවියේදී කැඳවිණි. අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු සිසුජන ව්‍යාපාරයේ නායකයින් සිරගත කර අද වන විට දින 85 ක කාලයක් ගත වී තිබේ. ඉතා පැහැදිලිවලම මොවුන් සිරගත කරගෙන සිටින්නේ ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත වන අතර ඒ බව තහවුරු වන කරුණු කාරණා රාශියක් මේ වන විට අනාවරණය වී ඇත. විශේෂයෙන්ම අ.වි.ශි.බ.ම කැඳවුම්කරු වසන්ත මුදලිගේ පසුගිය 22 දින බන්ධනාගාරයේ සිට එවන ලද ලිපියක් තුළින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදු කළ තර්ජනයක් පිළිබඳව කරුණු අනාවරණය කළ අතර සිසුජන ක්‍රියාකාරීන් මාස ගණන් ඇප නොලබා සිරගත වී සිටින්නේ මන්දැයි ඒ අනුව වටහාගත හැකිය.

මෙම නඩුව හමුවේ අධිකරණයේ හැසිරීමද අතිශයින් ප්‍රශ්නකාරී වන අතර ⁣කෝෂිලා හංසමාලි සහ චමීර කොස්වත්ත රිමාන්ඩ්භාරයේ රඳවාගෙන සිටින්නේ චෝදනාවක් හෝ නොමැතිවය. ඔවුන් දෙදෙනාට ඇති එකම චෝදනාව වන්නේ උද්ඝෝෂණයකට සම්බන්ධ වීමයි. පසුගිය 12 දින කැඳවුණු නඩුවේදී තලංගම පොලීසිය විසින් කෝෂිලාට හා චමීර කොස්වත්තට පොදු දේපල චෝදනා අදාළ නොවන බව කියමින් උසාවියට වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. නමුත් විනිසුරු මංජුල රත්නායක විසින් ඇප ප්‍රතික්ෂේප කරන ලදී. අද දින තලංගම පොලීසිය තවත් වාර්තාවක් උසාවියට ඉදිරිපත් කළ අතර එහි සඳහන් වූයේ කෝෂිලා හා චමීර කොස්වත්ත කාඩ්බෝඩ් මිනී පෙට්ටිය ගිනි තැබීමට සම්බන්ධ නොවූවද එයට අනුබල දුන් බවත්, ඒ නිසා ඔවුන්ට අදාළ චෝදනා ඉවත් කරගැනීම පිළිබඳව නීතිපති උපදෙස් අවශ්‍ය වන බවත්ය. නීතිපති උපදෙස් පතන්නේ රිමාන්ඩ්භාරය තව කල් දැමීමට මිස අන් යමකට නොවේ. චමීර කොස්වත්ත හා කෝෂිලා අත්තඩංගුවට ගත්තේ ඡායාරූප හා වීඩියෝ සාක්ෂි මත වන බව පළමු අවස්ථාවේදී පොලීසිය උසාවියට ඉදිරිපත් කළ කරුණයි. මෙසේ අවස්ථා කීපයකදී එකිනෙකට පරස්පර කරුණු තලංගම පොලීසිය විසින් උසාවියට ඉදිරිපත් කළ අතර උසාවිය ඇප නියම නොකළේ එසේ තිබියදී ය. ඒ අනුව අ.වි.ශි.බ.ම කැඳවුම්කරුට දේශබන්දු තෙන්නකෝන් සිදු කළ තර්ජනය උසාවියේ තීරණ පිළිබඳව පූර්ව නිශ්චය කිරීමක් සමග සිදු කළ බව පැහැදිලි වේ. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් කී ලෙස "හොඳටම කෙළවීමට" ස්වාධීන අධිකරණයත් සම්බන්ධ වී ඇත. 

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව නොවැම්බර් මස 09 දින දක්වා නැවත කල් තැබුණු අතර එමගින් වැඩිදුරටත් පැහැදිලි වන්නේ යුක්තිය රජයේ අධිකරණයෙන් බලාපොරොත්තු විය නොහැකි බවත් ජනතා අධිකරණයට නඩුව භාරදිය යුතු බවත්ය.









No comments:

Post a Comment