ලේ උරා බොන ඩ්‍රැකියුලා සිටුවරු සහ බියගුලු නිවටයෝ !
(ඇන්ටන් චෙකොෆ්ගේ දුබලයෙක් කෙටිකතාව ඇසුරින් පන්ති දේශපාලනය කියවමු.)
සාහිත්‍යය යනු යතාර්ථය ජයගැනීම සඳහා එය නැවත ප්‍රතිනිර්මාණය කිරීම යැයි කිවහොත් එහි වරදක් නැත. තමාගේ හෝ අනුන්ගේ යථාර්ථවාදී ජීවන අත්දැකීම් සාහිත්‍යාත්මකව ප්‍රතිනිර්මාණය වූ අවස්ථා ඕනෑතරම් අපි අත්විඳ ඇත්තෙමු. ඒ නවකතාවක්, කෙටිකතාවක්, නාට්‍යයක්, කවියක්, ගීතයක් ආදී ඕනෑම අයුරකින් විය හැකිය. ඇන්ටන් චෙකොෆ්ගේ දුබලයෙක් කෙටිකතාව පොදු සමාජ අත්දැකීමක සේයාවන් මවාපාන්නේ එකී දෘෂ්ඨිය මත හිඳිමින් විය හැකිය.
කෙටිකතාව රචනාවන්නේ උත්තම පුරුෂ දෘෂ්ඨිකෝණයෙනි. කතාව ප්‍රධාන චරිත දෙකක් ඔස්සේ දිව යයි. ඒ ජූලියා වැසිල්-යෙව්නා නම් සේවිකාව සහ නිවසේ හාම්පුතා අතර වන සංවාදයකි. ජූලියාගේ මාසික වැටුප් ගෙවන දිනයේ ඇය සහා හාමුපුතා අතර වන සංවාදයක් කෙටිකතාවට වස්තු විෂය වී ඇත.
"ඉඳගන්න , ජූලියා වැසිල්-යෙව්නා යි මම කීමි. දැන් අපි අපේ ගණන් හිලව් බේරා ගනිමු. ඔබට සල්ලි හුඟාක් වුවමනා කරන බව පේනවා. ඒත් ඔබ සිරිතක් වශයෙන් සල්ලි ඉල්ලන්නෙ නැහැ."
සමාජයේ සැකැස්ම මූලික පන්ති දෙකක් අතර ගැටුමකි. ඒ ධනපති පන්තිය සහ නිර්ධන පන්තියයි. දේපල හිමි ධනපතීන් යටතේ කිසිඳු දේපලක් අහිමි නිර්ධන පන්තිය ශ්‍රමය විකුණමින් ජීවත් වේ. නිර්ධනයා විසින් වැය කරනු ලබන ශ්‍රම ශක්තියේ වටිනාකම පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය ඔහුට නැත. ධනපතියා විසින් ගෙවන්නේ යම් ප්‍රමාණයක් ද එය ඔහු ප්‍රශ්න කිරීමකින් තොරව ලබාගත යුතුය. එය සමාජයේ සාමාන්‍ය ස්වභාවය යැයි හැඟෙන තරමටම ස්වභාවීකරණයට ලක් වී ඇත. නිර්ධනයාගේ ජීවන පැවැත්ම හැමවිටම ප්‍රාග්ධනයේ හැසිරීම මත රඳා පවතී. ස්වයං ප්‍රසාරණ ශක්තියක් රහිත ප්‍රාග්ධනය සෑම විටම ශ්‍රම වටිනාකම් සූරාකෑම මගින් ප්‍රසාරණයට ලක් වේ. ප්‍රාග්ධනයේ උච්ඡාවචනය මත හැම විටම ශ්‍රම වටිනාකම් තීරණය වේ.
" දැන් ඉතින් අපි පොරොන්දු වුනේ මාසෙකට රූබල් තිහ ගණනේ.
හතලිහ ගණනේ.
නැහැ තිහ ගණනේ. මම ඒක ලියාගත්තා. මම කවදත් භාරකාරියන්ට ගෙවන්නෙ තිහ ගණනෙ."
මිනිසුන්ගේ ලේ උරාබොමින් ජීවත් වූ ඩ්‍රැකියුලා සිටුවරයා පිළිබඳ කතා පුවත ඔබ අසා ඇතැයි සිතමි. එය පුරාවෘතයකි. ඩ්‍රැකියුලා විසින් ලේ උරා බොන විට කිසිවෙක් එයට එරෙහි වන්නේ නැත. ඒ ඩ්‍රැකියුලා කිසියම් මායාත්මක සහ ගුප්ත බලවේගයන් මගින් පීඩිතයාව තමන්ගේ වසඟයට හසු කරගන්නා නිසාවෙනි. එබැවින් අවසන් ලේ බිඳුවද උරා බොනතෙක් දුබල නිවටයකු මෙන් පීඩිතයා ඇස් කන් පියාගෙන බලා හිඳී. ලෝකයේ ධනපති පංතිය සහා මෙවැනි ඩ්‍රැකියුලා සිටුවරුන් අතර කිසිඳු වෙනසක් නැත. පීඩිත නිර්ධන පංතියේ අවසන් රුධිර බිඳුව දක්වාම උරා බොන මොවුන් එමගින් සිය ප්‍රාග්ධන වටිනාකම් ඉහල නංවා ගනී. මේ අසාධාරණය දැක දැකත් බහුතර පීඩිත පන්තිය නිහඬව බලා සිටී. සංවිධානය වීම සටන් කිරීම පසෙකින් තබා කර්මය හෝ දෙවියන්ගේ කැමැත්ත වැනි මායාවන් තුල සිරවුන ඔවුන් නිවටයන් සේ බලා හිඳින්නේ නිදහස වාසනාව අහසින් පහත් වන තුරුය.
"නිවාඩු දවස් තුන යි. ඒකට රූබල් දොළහක් අහක් කරන්න වෙනවා. දවස් හතරක් කෝල්‍යා ලෙඩ වෙලා හිටි නිසා පාඩම් තිබුනේ නැහැ, ඔබ වාන්‍යා ගැන විතරක් බලාගත් හින්දා. තුන් දවසක් ඔබට දත් කැක්කුමක් හැදිලා තිබුණ නිසා මගේ නෝනා දවල් කෑමෙන් පස්සේ වැඩ නොකරන්න ඔබට අවසර දුන්නා. දොළහයි , හතයි - දහ නවයයි. අඩු කරන්න බලන්න එතකොට ඉතුරු වෙන්නේ ... හ්ම්.. රූබල් හතලිස් එකයි හරි ද..?
ජූලියා වැසිල්-යෙව්නා ගේ වම් ඇස රත් පැහැ ගැන්වී කඳුළින් පිරිණ. ඇගේ නිකට වෙවුළිණ. කැළැඹුණු ස්වරූපයෙන් කැස්ස ඕ තොමෝ කිවිසුමක් පිටකලාය. එහෙත් වචනයකුදු ඇගෙන් පිට නො විණ."
කෙටිකතාව පුරාවටම මෙවැනි කේවල් කිරීම් වලින් පිරී පවතී. එහෙත් ජූලියා අසාධාරණය හමුවේ ගොලුවත රකිමින් පසුවන අතර එය තව තවත් ඇයව පීඩනයට පත් කරනු ලබයි. අපි සමාජය දෙස බලමු. කොරෝනා වසංඟතය නිර්ධන පංතිය කබලෙන් ලිපට ඇද දමා තිබේ. වසංගතයේ දැවෙන මළමිනී උඩ හිඳිමින් ධනපති පංතිය සහා මජර පාලකයෝ සිය ලාභාංශ ගනින්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය. සමාජයේ බහුතරයකට තුන් වේල කන්නට නැත. බෙහෙත් ගන්න රෝහල්වල පහසුකම් නැත. දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වී දෙවසරකට ආසන්නය. එය නැවත යථා තත්වයට පත් කරන්නට පාලකයින් අසමත්ව ඇත. මේවා හමුවේ ජනතාව ඇස් කන් පියාගෙන බලා හිඳී. අවසනායේ පලකයින්ටම ස්තුති ගීතිකා ගයමින් ගොස් ඡන්දයේ දී කතිරය ගසයි.
" මම රූබල් එකොළහක් ඇය අතැ තැබීමි. ඒවා අතට ගත් ඈ වෙවුලන ඇඟිලි වලින් ඒවා සිය සාක්කුව තුළට දමා ගත්තාය.
ස්තූතියි. ඈ කොඳුලා ය."
අපෙන්ම සූරාගෙන අපිටම දෙන පාලකයින්ට අපි ස්තුති කරමින් සිටින්නෙමු. ඔවුන් ඒ අතදිගහැර වියදම් කරන්නේ තමන්ගෙන් සූරාගත් දේපොළ බව පීඩිතයාට නොවැටහේ. එබැවින් ඔවුන් විසින් මේ හොරුන්ව මාරුවෙන් මාරුවට බලයට ගෙන එයි. දුබලයා කෙටි කතාව තුලින් එකී යථාර්ථය අපිට පසක් කරවයි.
" මොනවට ද මේ ස්තූතිය.
සල්ලි දුන්නට.
නමුත් ඔබ දන්නවා මම ඔබට වංචා කළ බව. ඇයි දෙයියනේ මං ඔබව කොල්ලකෑවා නේ ඇත්තම කියනවනං මම ඔබෙන් හොරකම් කලා. ඉතින් ඇයි මේ ස්තුතිය.?
මං වැඩ කළ අනිත් තැන් වලදී ඔවුන් මට කිසිම දෙයක් දුන්නේ නැහැ."
ජනතාව මේ පාලකයින්ම නැවත නැවත බලයට ගෙන එයි ඔවුන් තව තවත් ජනතාව පීඩනයට පත් කරයි. ජූලියා මෙන් ඔවුන් පීඩනය නිහඬව දරාගෙන හිඳී. හේතුව නම් ප්‍රශ්න කරන අසාධාරණයට එරෙහි වන්නන්ට එක්කෝ මරණය හිමිවේ නැතිනම් සිරගෙය හිමි වේ. ජනතාව මේ මිලිටරි පාලනයට එරෙහි නොවන්නේ එහෙයිනි. ඒ ගැන ජනතාවට ඉතිහාසය පුරාවටම අත් දැකීම් ඇත. එහෙත් තව කොපමණ කලක් අපි මේ පීඩනය උසුලන්නේ ද...?
"ඇත්තටම ඔහොමත් කොඳු ඇටය නැතුව ඉන්න පුලුවන් ද? ඇයි ඔබ විරුද්ධ වෙන්නෙ නැත්තේ.... දතුත් නියත් නැතුව මේ ලෝකේ ඉන්න පුලුවන් ද. මේ වගේ දුබලයෙක් වෙලා ඉන්න පුලුවන් ද?"
ප්‍රාග් ධනය වියරු වැටුණු යක්ෂයෙක් මෙන් පිස්සුවෙන් මෙන් සෑම අංශයකින්ම සූරාකෑම තහවුරු කරමින් සිටී.එහෙන් පොහොර ප්‍රශ්නය. තවත් අතකින් අධ්‍යාපනයට සෞඛ්‍යයට වෙන්වන ප්‍රතිපාද බිලියන ගණනින් කප්පාදු වෙයි. අධ්‍යාපනය සෞඛ්‍ය මුදලට විකිණීමේ ජාවරම් සදහා පාලකයින් නීති සකසමින් හිදී. ඔවුන් ඩ්‍රැකියුලා සිටුවරුන් මෙන් සූරාගත හැකි සෑම අංශයකින්ම ජනතාව සූරා කයි. එහෙත් පීඩිතයෝ නිහඬවම හිඳී. සුඛාන්ත කෙටිකතාවක් වන දුබලයෙක් කතාවේ අවසානයට ජූලියාට ඇයගෙන් සොරාගත් මුදල නැවත ලෙබෙයි එහෙත් යථාර්ථයේ දී එය එසේ වන්නේ නැත.අපෙන් සූරා කෑ දේ නැවත අපිට දීමට තරම් පාලක පංතිය සත්ගුණවත් නැත, එබැවින් අපි යුක්තිය ඉල්ලා වීදි බැසිය යුතුය. සවිධානය වෙමින් අරගල කල යුතුය. කෙටිකතාවේ අවසානයට මෙවැන්නක් සඳහන් වේ.
" මෙ ලොවැ දුබලයන් මැඩීම කො පමණ පහසු ද....?
ලෝකයේ බහුතරය පීඩිත නිර්ධන පංතිය නියෝජනය කරයි. ඔවුන් සුලුතර ධනපතියන්ගේ සූරාකෑමට හසුවන්නේ පීඩනය ඉවසන නිසාවෙනි. යුක්තිය වෙනුවෙන් හඬ නොනගන නිසාවෙන්. සවිධානය නොවන නිසාවෙනි. කොටින්ම ක්‍රියාකාරීව දේශපාලනයට මැදිහත් නොවන නිසාවෙනි. මුහුණු මාරු කරමින් එකම පන්තියක හොරු ටිකක් මාරුවෙන් මාරුවට බලයට ගෙන එමින් වෙනස් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වන නිසාවෙනි.
මුහුණු මාරු කරමින් යන සුලුතර ධනේශ්වර දේශපාලනයට එරෙහිව බහුතර පීඩිත පංතිය විසින් සක්‍රියව දේශපාලනයට මැදිහත් වන සම්පත් සමානව සියලු සමාජය අතරේ බෙදී යන ආර්ථික සහා දේශපාලනික ව්‍යුහයක් ස්ථාපිත කිරීමෙන් මෙහා මෙම පීඩනයට එරෙහිව ක්‍රියාමාර්ග නැත. එබැවින් සියලු දේශයන්හී නිර්ධන පංතිය ඒකරාශීකරගත් දේශපාලනික සමාජික සහා ආර්ථික පෙරළියක් සඳහා මැදිහත් වීම අපි සියලු දෙනාගේ වගකීම වන්නේය.
සටහන - පොකුණුවිට පියසෝම හිමි
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment