ඕනෑම රටක, ඕනෑම සමාජයක යහපැවැත්ම හා එහි අනාගතය සුන්දර ද, නැත්තන් අඳුරු ද යන්න තීරණය කරන්නේ රටේ මිනිසුන් තුළ පවතින ගුණධර්ම මඟිනි. ගුණධර්ම හා ශික්ෂණය මිනිසුන් තුළ බිහි කරන්නේ අධ්‍යාපනයයි.
"මනුෂ්‍යභාවය මනුෂ්‍ය බවට පත්වන්නේ අධ්‍යාපනය නිසාය. මිනිසා කිසිවෙකුත් නොවන නමුත් අධ්‍යාපනය ඔහු නිර්මාණය කරන්නේය. (බටහිර දාර්ශනික ඉමානුවල් කාන්ට්)"
එනිසා අපි කුඩා කාලයේ සිටම අපේ දරුවන්ට ඉගැන්වීමට උත්සහ දරයි. ලංකාව තුළ පවතින සීමිත ඉඩ ප්‍රමාණය හා රජයෙන් අධ්‍යාපනය සඳහා වෙන්වන මුදල ඉතා සීමිත නිසාත්, විශ්වවිද්‍යාලයකට තේරී පත්වන්නේ ඉතා අතලොස්සක. ඒ අතර පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය වැනි ශාස්ත්‍රීය විෂයන් කීපයකට විශේෂ ප්‍රවේශය යටතේ ගන්නා ක්‍රමයක් ද ඇත. එසේ සිදු කරන්නේ විශ්වවිද්‍යාල තුළ එම විෂයන් හැදෑරීමට උසස්පෙළට හෝ එම විෂයන් ඉගෙනගෙන තිබීම පහසුවක් වන නිසාය. බහුතරයක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මෙම විෂයන් ඉගෙනීමට උනන්දුවක් දක්වන අතර සිසු සිසුවියන් ද මෙම විෂයන් ඉගෙනගනු ලබයි.
රුහුණ විශ්වවිද්‍යාලයට ද මෙම විෂයන් අතුරින් පාලි විෂය සඳහාත් බෞද්ධ දර්ශනය විෂය සඳහාත් විශේෂ ප්‍රවේශයෙන් සිසුන් බඳවාගනු ලබයි. සංස්කෘත විෂය උසස්පෙළට කළ සිසුන් අනෙකුත් විශ්වවිද්‍යාල කීපයකටම මේ වනවිටත් බඳවාගැනේ. ඒ නිසාවෙන් රුහුණ සරසවිය තුළ ද තවත් පිරිසකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට හැකිවන නිසා සංස්කෘත අධ්‍යයන අංශයක් පිහිටුවන ලෙස එහි භික්ෂු සංගමය මඟින් කලක සිට ඉල්ලා සිටියේය. නමුත් ඒ සම්බන්ධව කිසිඳු තැකීමක් පරිපාලක අංශය නොදක්වයි. රුහුණ විශ්වවිද්‍යාලයට මෙතෙක් කලක් පාලි හා බෞද්ධ දර්ශනය විෂයන් සඳහා විශේෂ ප්‍රවේශයෙන් සිසුන් බඳවාගනු ලැබීය. එම විෂයන් සඳහා බඳවාගනු ලබන සිසුන් ප්‍රමාණය ද දැන් අවුරුදු කීපයක සිට අඩුකරගෙන ආ බවක් ද පෙනෙන්නට තිබුණි.
2019 වර්ෂයේ දී උසස්පෙළට මුහුණ දුන් සිසුන්ගෙන් රුහුණ සරසවියේ කලා අංශයට 700 පමණ පිරිසක් බඳවාගෙන ඇති බව රුහුණ සරසවියේ පරිපාලනය ප්‍රකාශ කරයි. එමනිසා මෙවර පාලි හා බෞද්ධ දර්ශනය විෂයන් සඳහා බඳවාගනු ලබන විශේෂ ප්‍රවේශික සිසුන් බඳවා නොගන්නා බව පරිපාලනය කියා සිටී. පරිපාලක ප්‍රධානීන් මෙම මතයට දැඩිසේ පෙනීසිටීම ද විශේෂත්වයක් ගනී.
නමුත් එහි අධ්‍යනාංශ, ආචාර්යවරුන් හා නේවාසිකාගාර ආදිය තවත් සිසුන් බොහෝ පිරිසකට අධ්‍යාපන අවස්ථා ලබාදීමට තරම් ප්‍රමාණවත්ය. එසේ තිබියදීත් මෙලෙස බඳවාගැනීම් නතර කරන්නේ තවත් සීමිත පිරිසකට හෝ විශ්වවිද්‍යාලයකට ඒමට ඇති අවස්ථා අහුරාලමිනි. මේ තත්ත්වය පැහැදිලි කර සිටිය නමුත් වගකීමක් ගතයුතු විශ්වවිද්‍යාලයක පරිපාලනයක් ලෙස ඒවාට ඇහුන්කන් දීමක් ද සිදු නොකරයි. ඒ ඔවුන්ගේ තීරණය පරාජය වනු ඇතැයි යන පටු, කුහක වූ අදහසෙහි හිඳගෙනය. හික්මීම හා අනෙකාට සවන්දීමට හැකිවීම හා එහි ඇති වඩා සාධාරණ දෙය කිරීම අප දකින්නේ නිවට කමක් ලෙස නොව අධ්‍යාපනය ලැබීමේ දියුණු මට්ටමක් ලෙසය. එහෙත් කනගාටුදායකම කරුණ වන්නේ, ලංකාවේ අධ්‍යාපනයේ ඉහල ස්තරයක් වන විශ්වවිද්‍යාල අතුරින් රුහුණ සරසවියේ පරිපාලන නිළධාරීන් තුළ එම අධ්‍යාපනයේ ඉහලම ගුණධර්ම ගෑවිලාවත් නොමැති වීමයි. මන්ද ඉන් අධ්‍යාපන අවස්ථාවක් සැලසෙන්නේ මේ සමාජයේම දරුවෙකුගේය. මෙලෙස හිතුමතේ බොඳ කර දමන්නේ බහුතරයක් දරුවන්ගේ හා දෙමාපියන්ගේ අහිංසක හීනයන්ය.
රුහුණ පරිපාලනය විසින් මේ වනවිටත් එම අත්තනෝමතික තීරණය ගෙන ඇත්තේ යම් මට්ටමකින් හෝ මේ රැකී තිබෙන ශාස්ත්‍රීය විෂයන් ටික විශ්වවිද්‍යාලයෙන් පිටමං කර දැමීමේ අරමුණින් විය යුතුය. ධනවාදී සෑම ආණ්ඩුවකටම අවශ්‍ය කර ඇත්තේ ද රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇති විෂයන් කප්පාදු කර එම විෂයන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඈඳා ගැනීමය. එම වැඩපිළිවෙළට කිසිඳු විරෝධයක් නොමැතිව වැඩ කරන රූකඩ පරිපාලකයින් අප ඕනෑතරම් දැක ඇත. මර්දනයම සිය මූලික අරමුණ කරගත් නිවට රුහුණ පරිපාලනය ද අද වන විට අමු අමුවේ මහ දවල් ශාස්ත්‍රීය විෂයන් ටික විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමේ නින්දිත ක්‍රියාවලියේ යෙදෙන්නේ තමන්ගේ පහත්, නිවට, නියාලු ගතිපැවතුම් රටටම විදහා දක්වමිනි. මර්දනය දැකීමට පිපාසිතව සිටින ආණ්ඩු සහ සරසවියට ඉහලින් සිටින කශේරුකාව සිඳගත් වගකිව යුත්තෝද මේවා අනුමත කරමින් දැක්ක, නොදැක්කා වගේ සිටින්නේ අධ්‍යාපනයෙන් තනතුරු ගනිද්දී මනුෂ්‍යකම උකස් තැබූවායැයි කියන්නාක් මෙනි.
මේ සිදුවන අයුක්ති සහගත අසාධාරණය එරෙහිව හඬනැගීමට සියලු ප්‍රගතිශීලී බලවේගයන් එක්විය යුතුය. සමස්ථ සමාජයටම අයිති අධ්‍යාපනය තමන්ගේ භූදලයක් ලෙස පරිහරණය කරන මෙබඳු පරිපාලකයන්‍ට එරෙහිව නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අප සියලුදෙනා සංවිධානව සටන් වැදිය යුතුය.
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය
No comments:
Post a Comment