පසුගිය 2015 වසරේ සිට විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාර්ය එස්.ඒ.අරියදුරෛ උපකුලපතිවරයාගේ දෙවන ධුරකාලය 2021 ජූනි මස අවසන් වන අතර ඒ අනුව 2021 ජුනි මස වනවිට විවෘත විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයකු තේරී පත්විය යුතු වේ. ඒ අනුව විශ්වවිද්‍යාල පනතේ සඳහන් වන පරිදි විවෘත විශ්වවිද්‍යාලයේ පාලක සභාව මඟින් පවත්වන ලද ඡන්දයෙහි වැඩිම ලකුණු ලබාගත් තිදෙනෙකු එම තනතුර සඳහා යෝජනා කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ජනාධිපතිවරයා වෙත යවා ඇති අතර ජනාධිපතිවරයා විසින් එම නම් තුනම කරුණු නොදක්වාම ප්‍රතික්ෂේප කර ඇත. යෝජිත නම් සම්බන්ධ පුද්ගල ගැටලු පැවතිය ද ක්‍රමවේදයට පිටින් පත් වීමම ගැටලුවකි. මේ අනුව නැවත විවෘත විශ්වවිද්‍යාලයට අදාලව උපකුලපතිවරයකු පත්කර ගැනීම සඳහා 1978 විශ්වවිද්‍යාල පනතේ සඳහන් ක්‍රියාපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා කාලයක් ගතවන බැවින් 2021 ජුනි මස වනවිට නව උපකුලපතිවරයකු පත්කිරීමට නොහැකි වේ. ඒ අනුව පාලකයකු නොමැති විශ්වවිද්‍යාලයක් බවට විවෘතය පත්වීමේ අවධානමක් එක් පසෙකින් පවතී. මෙම හිදැස පිරවීමට ආණ්ඩුවේ බළල් අතක් පත් කිරීමට නියමිතව ඇත.
පසුගිය කාලයක් පුරාවටම විවෘත විශ්වවිද්‍යාලයට අදාලව විවිධ වූ ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙමින් විවෘත සරසවිය මෙරට සියළුම දිස්ත්‍රික්කයන් පුරා විසිරුණු දැවැන්තම උපාධි කඩයක් බවට පත් කිරීමට පැවති සෑම ආණ්ඩුවකම උත්සාහය වූ අතර විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, අනධ්‍යන සේවකයන් එකී වැඩ පිළිවෙලට විරෝධය ප්‍රකාශ කරමින් සිටියහ. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ද විවෘතය ඇතුළු අනෙකුත් සියළුම විශ්වවිද්‍යාල ප්‍රජාව එකතු කරමින් එම සැලසුමට එරෙහිව අරගල කරමින් සිටින අතර එය ආණ්ඩුවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලට විශාල බාධාවක්ව පවතී. ඒ අනුව මේ මොහොතේදී ගෝඨාභය ඇතුළු ආණ්ඩුවට උවමනා වී ඇත්තේ විවෘත විශ්වවිද්‍යාලයේ මුල් පුටුවට තමන්ගේ රූකඩයක් දමා ගනිමින් විවෘත සරසවිය උපාධි කඩයක් කරගැනීමේ සැබෑ නොවුණු සිහිනය ඔහු හරහා පහසුවෙන් ඉටු කරවා ගැනීමයි. පැනනඟින විරෝධතා ඔහු හරහා මර්දනය කිරීමයි. මෙම දේශපාලන මගඩියට එරෙහි විය යුත්තේ එනිසාය.
මෙම සිදුවීම කියවා ගත යුත්තේ හුදකලාව නොවේ. පසුගිය කාලවකවානුව පුරාම ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළද මෙම අත්තනෝමතික මැදිහත්වීම් පැහැදිලිව පෙනෙන්නට තිබේ. පසුගිය කාලයේ ලංකාවේ පාසල් පද්ධතිය තුල පවතින ප්‍රමාණවත් ගුරුවරුන් නොමැති වීමේ ගැටලුව සඳහා ගුරු විභාග සමතුන් රැකියාව නොමැතිව සිටියදීත් හමුදාව ඒ සඳහා අනුයුක්ත කිරීමට හා ඒ ඔස්සේ පාසල් පද්ධතිය මිලිටරීකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා ලදී. එසේම අද වනවිට ලංකාවේ සියළුම රාජ්‍ය ආයතන වල මුල් තනතුරු සඳහා විශ්‍රාමික මේජර් වරුන් ඇතුලු හමුදා නිලධාරීන් අනුයුක්ත කරමින් රාජ්‍ය ආයතනද මිලිටරීකරණය කර ඇත. එසේම මෙම මොහොතේ ගෝලීයව පිඩාවිඳිමින් පවතින COVID - 19 වසංගතයට ලොව පුරා සෞඛ්‍ය අංශ තත්ත්වය පාලනයට විසඳුම් සොයද්දී ලංකාවේ එම කාර්ය සඳහා යුධ හමුදාපතිවරයා ප්‍රධාන ආරක්ෂක අංශයට පවරා ඇති අතර සෞඛ්‍ය අංශ පෙරට නොගැනීමේ ගැටලුවට මේ වනවිට මෙරට සියලු ජනතාව වන්දි ගෙවමින් සිටී. මෙම සියලුම ක්‍රියාවන්ගේ ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ආණ්ඩුවේ දේශපාලන බලාධිකාරයේ අත්තනෝමතික මැදිහත් වීමයි.
කොතලාවල පනත හරහා පෞද්ගලික උපාධි කඩ සෑදීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය කර ආණ්ඩුවට උවමනා පරිදි නිදහස් අධ්‍යාපනය වලපල්ලට යැවීමේ කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක අතර මෙම වැඩපිළිවල දෙකටම එරෙහි විය යුතුය. දැනට විවෘත විශ්වවිද්‍යාලයට දමනා අත්තනෝමතික ගෝඨාභය රාජපක්ෂ ඇතුලු දේශපාලනයේ අත හෙට දිනයේදී අනෙකුත් විශ්වවිද්‍යාල සඳහාද නොතැබීමට නම් මෙම මොහොතේදීම මෙම කුමන්ත්‍රණය සමස්තා ප්‍රජාවම එක්වී පරාජය කළ යුතුය.
No comments:
Post a Comment