Sunday, January 10, 2021

මිලිටරීකරණය පාසලටත්?

 


මේ වනවිට ආණ්ඩුව විසින් දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය පියවීමට ගුවන් හමුදා සෙබළුන් බඳවගන්නා පුවතක් වර්තාවෙයි. ඒ සඳහා ආණ්ඩුවේ පාර්ශවයෙන් පැහැදිලි කිරීමක් ලෙස පවසන්නේ "හමුදා සෙබළුන් පඩි අරන් කොහොමත් නිකන් ඉන්නේ, අපි ඒ අය දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි උගන්නන්න යොදවනවා" වැනි ප්‍රකාශයකි. පසුගිය කාලය තුළ සෑම අමාත්‍යාංශකටම හමුදා නිලධාරියෙක් නම් කළ අතර රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ද ආණ්ඩුකාර තනතුරුවලට ද හමුදා නිළධාරීන් පත්කිරීම වැනි ක්‍රියාමාර්ග ගනණාවක් නිරීක්ෂණය විය. මෙම නම් කිරීම් හෝ පත් කිරිම් ප්‍රජාතන්ත්‍රවාදී වපසරියක ක්‍රියාත්මක නොවිය යුතු ඒවාය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිලිටරීකරණ නැඹුරුව වඩාත් කතාබහට ලක්වූයේ  දුශ්කර පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම සඳහා හමුදා නිළධාරීන් පත් කිරීමට ගත් වෑයමිනි. මේ වනවිට රාජ්‍ය අංශයේ ආයතන විශාල ප්‍රමාණයක ගැටලු රාශියක් ගොඩනැඟෙමින් ඇත. කෙසේ වෙතත් එම ප්‍රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට මිලිටරීකරණය කරමින් මර්දනය කැඳවීමේ උත්සාහයක් මෝදු වෙමින් තිබෙන බව නිරීක්ෂණය වේ.

පාසල් වල ඉංග්‍රීසි විශය ඉගැන්වීමට හමුදාව යොදා ගැනීම පිළිබදව ප්‍රශ්න කිහිපයක් ගොඩනැඟෙයි. සෙබළෙකු නිර්මාණය කරන්නේ යුදමය කටයුතු සඳහා මූලික පුහුණුව ඇතිව ය. ගුරුවරයෙකු නිර්මාණය කරන්නේ නිශ්චිතව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ය. මේ දෙක අතර ඇති පරතරය අහසට පොළව මෙන්‍ ය. ඉංග්‍රීසි භාෂාව කතා කල හැකි පමණින් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට හැකි යැයි ගුවන් හමුදාපති ප්‍රකාශ කිරීම, සිංහල භාෂාව කතා කල හැකි සැමට සිංහල භාෂාව ඉගැන්විය හැකි වාක් මෙන් බොළඳ තර්කයකි. එමෙන්ම  මේ වනවිට බඳවාගත් උපධිධාරින් පනස් එක් දහස් හයසිය අනූ දෙක(51,692)ක් වන අතර ගුරු විභාග සමත් පත්වී අභ්‍යාසලාභීන් පහළොස් දහස(15,000)ක් සිටී. එමෙන්ම H.N.D.ඉංග්‍රීසි මාධ්‍ය ඩිප්ලෝමාධාරින් හත්දහස(7,000)ක් පමණ සහ ශිෂ්‍ය උපදේශන ගුරු විභාග සමතුන් එක් දහස් දෙසිය හැට(1,260)ක් පමණ ද සිටී. විද්‍යා පීඨ සීමාවාසික අවසන් තුන්දහස් හත්සියය හැත්තෑව(3,770)ක් සිටින තත්ත්වයක් තුළ හමුදාව ඉගැන්වීම සඳහා යෙදවීමේ යෝජනාව ආණ්ඩුවේ උවමනාව පැහැදිලිවම හෙළි කරයි.

මේ සඳහා ගුරු සංගම් විරුද්ධත්වය ප්‍රකාශකර ඇති අතර පර්ලිමේන්තුවේ දී ජී.එල්.පීරිස් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ එවැනි තීන්දුවක් තම අමාත්‍යාංශය ගෙන නොමැති බවයි. 

මුට්ටිය දමන විටම පොල්ලෙන් ගැසූ නිසා මෙවැනි ප්‍රකාශයක්  කළා විය හැක. මෙම හකුළාගත් වැඩපිළිවෙල නැවත වටයකින් වෙනත් ප්‍රවේශයකින් පැමිණිය හැකි බැවින් මේ සඳහා වන සමාජ සංවාදය අඛණ්ඩව පවත්වාගත යුතුය.

No comments:

Post a Comment