Sunday, January 10, 2021

විවෘත විශ්වවිද්‍යාලය කොයිබටද? කළ යුත්තේ කුමක්ද?


විවෘත හා දුරස්ථ ඉගැනුම් විශ්වවිද්‍යාලය ලෙස අද වනවිට පවතින විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ වර්ෂ 1980 ජුනි 19 වනදාය. ඒ ලෝක මට්ටමින් අධ්‍යාපනය සම්බන්ධව ගොඩනැගුණු නව මතවාදයක් ප්‍රචලිත වීමත් සමඟය. ඒ අනුව එතෙක් අධ්‍යාපනය පිළිබඳව ලොව පිළිගත් මතය වූ ළමා කාලය තුළ විධිමත් අධ්‍යාපනය හදාරා අවසන් කල යුතුය යන්න අභියෝගයට ලක්කරමින් යම් අයකු රැකියාවක් කරන අතරතුරදී අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය තිබිය යුතුය යන අදහස මූලික කරගනිමින් විවෘත විශ්වවිද්‍යාල සංකල්පය බිහිවිය.

ලෝක මට්ටමේ අධ්‍යාපනය සම්බන්ධව විප්ලවීය වෙනසක් ඇති කළ මෙම සංකල්පය ලංකාව තුලද ඇති කිරීමට අදාළ සංකල්පීය බීජය 1977 එක්සත් ජාතික පක්ෂ මහා මැතිවරණ ප්‍රකාශය තුළ අන්තර් ගතවිය. ආරම්භයේදී පැවති "අවාසනාවන්ත සිසු පිරිසකට අධ්‍යාපනය ලබාදීම" යන දැක්ම වෙනස් වී සිසුන්, ආචාර්යවරුන් ඇතුළු පාර්ශවයන්ගේ ප්‍රගතිශීලී මැදිහත්වීම් නිසා "අධ්‍යාපනය සියලු මිනිසුන්ගේ අයිතියක්" යන දැක්ම මූලික කරගනිමින් "මුළු මනුෂ්‍ය ජීවිතයම අධ්‍යාපන ක්‍රියාවලියක්ය" යන පදනම මත පිහිටා විවෘත සරසවිය උසස් අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කරන සැබෑ සරසවිය ලෙස ස්ථානගත විය.

විවෘතභාවය, යාවජීව අධ්‍යාපනය යන පුළුල් සංකල්පීය පදනම් මත පිහිටුවමින් ආරම්භ කළ ද 1977 විවෘත ආර්ථිකයේ බලපෑම විවෘතයට ද ඇතිවිය. ඒ අනුව අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ මූලික ප්‍රතිපත්තියෙන් විවෘතය හුදෙකලා නොවීය.

ඒ අනුව ආරම්භයේදී රැකියාවක් කරන අයකුගේ සති 2ක මූලික වැටුප පමණක් වර්ෂයක පාඨමාලා ගාස්තුව ලෙස අයකළ ද පසු කාලීනව එය මාසයක අවම මූලික වැටුප දක්වා ද වෙනස් විය. ඉන් පසුව ශිෂ්‍යයකු උපාධිය හැදෑරීමේදී ඔහුට වැයවන සම්පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් 33% ක මුදලක් ශිෂ්‍යයකු විසින් දැරිය යුතුයැයි තීරණය කරන ලදී. නමුත් එයින් ද නොනැවතුනු පාලකයින් විශ්වවිද්‍යාලයේ සමස්ථ වියදමෙන් 67% ක් ආණ්ඩුව දරන බවත් ඉතුරු 33% ක ප්‍රතිශතය සමස්ත ශිෂ්‍යයින්ගෙන් අය කරගත යුතු බවට වූ තීරණය ගනු ලැබීය.

මේ තීරණයත් සමඟ එතෙක් කල් එක් ශිෂ්‍යයකු තමාට උපාධිය සඳහා වැයවන පාඨමාලා ගාස්තුවෙන් 33% ක් පමණක් ගෙවිය යුතුය යන තීරණය අහෝසි වී ගිය අතර ගතවන මේ මොහොත වනවිට තත්ත්වය වඩාත් දරුණු වී ඇත්තේ මාසිකව විශ්වවිද්‍යාලයේ සමස්ථ වියදමෙන් 33% ද ඉක්මවූ ප්‍රතිශතයක් සිසුන්ගෙන් මාසිකව අයකරගත හැකිවන මට්ටමට විවෘත සරසවියේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබීම හා එම වැඩිකළ ගාස්තු අයකර ගැනීමට කටයුතු කිරීම තුළයි. ඒ අනුව මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ ශිෂ්‍යයකු තම උපාධියට වැයවන මුදලින් 45% ක ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලයට ගෙවිය යුතු බවයි.

මේ සියල්ල සිදු වනුයේ අධ්‍යාපනය පිළිබඳව, පැවතුණු සෑම ධනවාදී ආණ්ඩුවක්ම අනුගමනය කළ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය නිසාය. පවතින ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කර ඒ තුලින් ලාභ ඉපයිය යුතුය යන ප්‍රතිපත්තිය මත හිඳිමින් ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල බලපෑම මතය. ඒ අනුව විවෘත විශ්වවිද්‍යාලය ද මේ වනවිට සමාජයට අධ්‍යාපන අවස්ථා සලසා දීමේ පුළුල් දැක්මට පටහැනිව ලාභය අරමුණු කරගත් රජය යටතේ පවතින ලංකාවේ සෑම පළාතක්ම ආවරණය කරන ප්‍රාදේශීය මධ්‍යස්ථාන 09ක් හා අධ්‍යයන මධ්‍යස්ථාන 19කින් සමන්විත වුනු ලංකාව පුරාම ව්‍යාප්ත වුනු දැවැන්ත උපාධි කඩයක් දක්වා ගෙන යාමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇත. වසරින් වසර විවෘත විශ්වවිද්‍යාලයට අදාළව අයවැයෙන් වෙන් කරනු ලබන ප්‍රතිපාදන කප්පාදු කරමින් මේ ක්‍රියාත්මක වන්නේ එම වැඩපිළිවෙළයි.

විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අයිතිය ඇති වැඩකරන ජනයාගේ ලේ දහදිය උරා බොමින් ජීවිත නිදහස මංකොල්ල කමින් එකතු කරගන්නා ධනයෙන් ඔවුන්ගේ අධ්‍යාපන අයිතියවත් තහවුරු නොකර විවෘත විශ්වවිද්‍යාලය තුළ සිදුකරමින් පවතින අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන වැඩපිළිවෙළට එරෙහිව සංවිධානය විය යුතුව ඇත.

අධ්‍යාපනය අහිමි සමාජයක් යනු ජීවිතය අහිමි වූවන්ගේ සමාජයකි. එමනිසා අධ්‍යාපනය, මිනිසුන් ලෙස බිහිවන සියලු පුරවැසියන්ගේ මානව අයිතියක් ලෙස පිළිගනිමින් විවෘත විශ්වවිද්‍යාලය තුළ නිදහස් අධ්‍යාපනය දිනා ගැනීම දක්වා මෙන්ම අධ්‍යාපනය සතු ඓතිහාසික කාර්‍යභාර්‍ය ඉටුකරන ජනතා සරසවියක් ගොඩනැඟීම දක්වා කොන්දේසි විරහිතව එක් වී, සංවිධානය වී, සටන් වැදිය යුතුව ඇත.

No comments:

Post a Comment