Sunday, December 13, 2020

සෞඛ්‍ය අමාත්‍යවරියගේ මැදිහත්වීමෙන් වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙක් තනතුරුවලින් ඉවතට..




වෛද්‍ය අධ්‍යාපනය විකිණීමේ අරමුණින් වෛද්‍ය සභාවට සිදුකරන දේශපාලන අතපෙවීම් නවතනු!

සෞඛ්‍ය අමාත්‍යවරියගේ මැදිහත්වීමෙන් වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙක් තනතුරුවලින් ඉවත් කර තිබේ. පවතින වෛද්‍ය ආඥා පනත අනුව වෛද්‍ය සභාවට නිලධාරීන් පත් වන්නේ වසර පහක් සඳහා වන අතර එම කාලය ඇතුළත යම් සාමාජිකයෙකු ඉල්ලා අස් වුවහොත් හැර බලහත්කාරයෙන් ඉවත් කිරීමේ බලයක් අමාත්‍යවරයාට හිමිව නැත. ඒ අනුව මෙම ඉවත් කිරීම පවතින වෛද්‍ය ආඥා පනත අනුවමත් ගැටලුවකි.

ඉවත් කළ සාමාජිකයන් විසින්ද පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ කරුණු සඳහන් කළ අතර මෙම අත්තනෝමතික ඉවත් කිරීම ඔවුන් විසින්ද පිළිගන්නා බවක් නොපෙනේ. වෛද්‍ය වෘත්තියේ ඉහළ නිපුණයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවා අමාත්‍යවරියගේ මෙම අත්තනෝමතික මැදිහත්වීමෙන් වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට බලපෑම් සිදුවීම පිළිබඳව කණස්සල්ල පල කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. 

සමස්තයක් ලෙස අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පාලකයන් උත්සාහ දැරූ අවස්ථා, එම උත්සාහයන් ජනතා විරෝධය හමුවේ පරාජය වූ අවස්ථා මෙන්ම පරාජය කළ නොහැකිව තවමත් ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන්ද පවතී. ජනතා විරෝධය හමුවේ එලෙස මෑතදීම පාලකයන් පරාජයට පත්වූයේ නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසමින් උපාධි කඩ විවෘත කිරීමට ගෙනා සයිටම් නියමු ව්‍යාපෘතියයි. සයිටම් හොර උපාධි කඩයට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු ප්‍රගතිශීලී පාර්ශව ගණනාවක් එක්ව දැවැන්ත විරෝධයක් ක්‍රියාත්මක කළ අතර එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පාලකයන්ගේ ව්‍යාපෘතිය පරාජයට පත්විය. එම අරගලය මොහොතේද වෛද්‍ය සභාව විසින් සයිටම් ආයතනයට අනුමැතිය ලබානොදුන් අතර ආණ්ඩුවට අවශ්‍ය පරිදි එය හසුරුවා ගැනීමට නොහැකි විය. එහිදීද පසක් වූ කාරණය වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හා වෛද්‍ය සභාවේ ක්‍රියාකාරීත්වය අතර ගැටුමක් පවතින බවයි. ⁣ආණ්ඩුවේ පෞද්ගලිකකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට වෛද්‍ය සභාවේ ක්‍රියාකාරීත්වය බාධාවක් වී ඇති බවයි. විදෙස් විශ්වවිද්‍යාල කිහිපයකට අනුමැතිය ලබානොදීම පිළිබඳව ගතවූ ආසන්න කාලය තුළද ආණ්ඩුවේ විවේචනයක් වෛද්‍ය සභාවට එල්ල විය. 

ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ වෛද්‍ය සභාව බල රහිත කොට එය හැසිරවීමේ බලය දේශපාලන අධිකාරියට පවරාගැනීමටය. වෛද්‍ය ආඥා පනත අනුව ආයතනය අහෝසි කළ නොහැකි අතර මේ සැරසෙන්නේ අදාළ ව්‍යූහය පවතිද්දීම එහි සංයුතිය තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කොට බල රහිත තත්ත්වයට පත් කිරීමටය. ගතවූ කාලය පුරාම වෛද්‍ය සභාවට සැලකිය යුතු මට්ටමින් විවිධ දේශපාලන මැදිහත්වීම් සිදුවූ නමුත් කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් ⁣කොටසකගේ මැදිහත්වීම මත සම්පූර්ණයෙන්ම වෛද්‍ය සභාව අවනත කරගැනීමට ආණ්ඩුවට නොහැකි විය. මේ උත්සාහ කරන්නේ ඒ නොහැකිවූ කටයුත්ත ඉටුකර ගැනීමටය. අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තියේ වෛද්‍ය අධ්‍යාපනයට අදාළ බාධකයන් ඉවත්කර ගැනීමටය. පසුගිය රනිල්-මෛත්‍රී ආණ්ඩුව විසින් රැගෙන ආ QAAC පනත තුළින්ද වෛද්‍ය සභාව, ඉංජිනේරු ආයතනය, වාස්තු සභාව වැනි ව්‍යූහයන් බල රහිත කිරීමේ වැඩපිළිවෙලක් අන්තර්ගත විය. වත්මන් ආණ්ඩුව ද නිදහස් අධ්‍යාපන ආයෝජන කලාප නමින් උපාධි කඩ සංකීර්ණයක් ඉදිකිරීමට දැනටමත් සැලසුම් කර අවසන්ය. ආසිරි-ඇබර්ඩීන් හවුල් ව්‍යාපෘතියක් ලෙස වෛද්‍ය අධ්‍යාපනය විකිණීමේ කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වූ අතර එයට සැලකිය යුතු මට්ටමේ ජනතා විරෝධයක්ද එල්ල විය. දැන් ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ එම ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත් එයට බාධාකාරී වන ව්‍යූහයන් හැසිරවීමේ බලය ආණ්ඩුව අතට ගෙන එම බාධකයන් ඉවත් කිරීමටත්ය. වෛද්‍ය සභාවට මෙම දේශපාලන අතපෙවීම් සිදුකරන යටි අරමුණ එයයි. එහෙයින් මේ සඳහා අප සියලු දෙනා විරෝධය පල කළ යුතු අතර අධ්‍යාපනය, සෞඛ්‍ය වෙළඳභාණ්ඩකරණය කිරීමේ ව්‍යාපෘතිය පරාජයට පත් කිරීම සියලු දෙනා සතු සමාජ වගකීමකි.

No comments:

Post a Comment