Wednesday, October 7, 2020

පවතින වසංගත අවදානම හමුවේ විශ්වවිද්‍යාල තුළ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සමිබන්ධයෙන් ලිපියක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කරන ලදී.




කෝවිඩ් 19 නැවත පැතිරයාමේ තත්ත්වය මත විශ්වවිද්‍යාලවල සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධවයි.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය නැවත පැතිරයාමේ බරපතල තත්ත්වයක් රට තුළ උද්ගතව තිබේ. මේ වන විටත් ප්‍රදේශ කිහිපයකින්ම ආසාදිතයන් හමුව ඇති අතර එම ප්‍රදේශ සියල්ල තුළම නව කෝවිඩ් පොකුරු ඇති වීමේ අවදානම ති⁣බේ. මෙම තත්ත්වය මත විශ්වවිද්‍යාලවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව ගැටලු රැසක් අනිවාර්යයෙන් උද්ගත වේ. 

දිවයිනේ සියලුම ප්‍රදේශවලින් විශ්වවිද්‍යාලවලට සිසුන් පැමිණෙන අතර එහෙයින්ම වසංගත අවදානමට විශ්වවිද්‍යාල සෘජුවම විවෘත වීම අනිවාර්ය කරුණකි. යම් හෙයකින් විශ්වවිද්‍යාල සිසුවෙක් හට වෛරසය සම්ප්‍රේෂණය වුවහොත් සිසුන් විවිධ ප්‍රදේශවලට පිටත්ව යෑම හේතුවෙන් නැවතත් රට පුරා වසංගත අවදානමක් මතුවීම ද අනිවාර්ය කරුණකි. දැනට වසා දමා ඇති කැලණිය, වයඹ ඇතුළු විශ්වවිද්‍යාලවල සිසුන් හැකි ඉක්මනින් නිවෙස්වලට පිටත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබුණමුත් එමගින් සමාජයට වසංගතය පැතිරයාමට තිබූ අවදානම පිළිබඳව කිසිඳු තැකීමක් සිදුකොට තිබුණේ නැත. අවම වශයෙන් සිසුන් අහඹු ලෙස හෝ PCR පරීක්ෂණ සඳහා යොමු කොට සෞඛ්‍යාරක්ෂිත පිළිවෙතක් ක්‍රියාත්මක කළ යුතුව තිබුණි.

මෙතෙක් විශ්වවිද්‍යාල කිසිවක සියලු සිසුන්ට ප්‍රමාණවත් පරිදි සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ස්ථාපිත කර නොමැති අතර අත් සේදීමේ පහසුකම්වත් විධිමත්ව සකසා නැත. සෑම විශ්වවිද්‍යාලයකම පාහේ අත් සේදීම සඳහා ජල කරාම කිහිපයක් සවි කර තිබෙන මුත් සිසුන් ප්‍රමාණයට සාපේක්ෂකව ඒවා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. රජරට වැනි විශ්වවිද්‍යාලයක ජල කරාම තබා ජලයවත් ප්‍රමාණවත් සැපයීමක් නැත. අත් සෝදන විෂබීජ නාශක දියර විශ්වවිද්‍යාල පරිශ්‍රවල, නේවාසිකාගාර පරිශ්‍රවල ප්‍රමාණවත් පරිදි සපයා නැත. පිවිසුම් දොරටු අසල ශරීර උෂ්ණත්වය මැන බලන නමුත් ශරීර උෂ්ණත්වය ඉහළ අයෙක් හමුවුවහොත් අනුගමනය කරන පියවර කුමක්ද යන්න පැහැදිලි නැත. පොදුවේ සියලුම විශ්වවිද්‍යාලවල වෛද්‍ය මධ්‍යස්ථානවල ද ගැටලු රාශියක් පවතී. ප්‍රමාණවත් පරිදි ඖෂධ නොමැතිවීම පොදු ගැටලුවකි. රජරට, නැගෙනහිර ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක වෛද්‍ය මධ්‍යස්ථාන⁣යේ ස්ථීර වෛද්‍යවරයෙක් නැත. රජරට, කැලණිය, නැගෙනහිර ඇතුළු විශ්වවිද්‍යාලවල හදිසි අවස්ථාවක භාවිතා කිරීම සඳහා ගිලන් රථයක් නැත. අහඹු ලෙස හෝ සිසුන් PCR පරීක්ෂණවලට ලක් කෙරෙන වැඩපිළිවෙළක් දියත් වන්නේ නැත. ශිෂ්‍ය සංගම්වල ඉල්ලීම් මත වරක් දෙවරක් ඇතැම් විශ්වවිද්‍යාලවල සිසුන් අහඹු ලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කළද ඒ සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක් නැත. මීටරයේ පරතරය තබා මිලිමීටරයේ පරතරය තබාගෙන සිටීමටවත් ප්‍රමාණවත් තරම් ඉඩකඩක් විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර තුළ, ආපනශාලා තුළ නැත. කොපමණ ඉල්ලීම් ඉදිරිපත් කළත් ඒ පිළිබඳව කිසිඳු බලධාරියෙකු තැකීමක් කරන්නේ නැත.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව මෙවන් අවදානමක් හා ගැටලු රාශියක් පවතී. වසංගත අවදානමක් ඉදිරියේ මුළුමහත් සමාජයම අනාරක්ෂිතව සිටින මේ මොහොතේ විශ්වවිද්‍යාල බලධාරීන් මෙයට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතුය. විශ්වවිද්‍යාල හදිසියේ වසා දමා සිසුන් නිවෙස්වලට පිටත් කිරීම හෝ දෛවය මත විශ්වාසය තබා බලා සිටීම හෝ වගකිවයුත්තන්ට තරම් නොවේ. එහෙයින් ඉහත සඳහන් කළ කරුණු සලකා බලා අවශ්‍ය පහසුකම් විශ්වවිද්‍යාල තුළ වහාම ස්ථාපිත කර සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ යුතු බවට දැඩිව අවධාරණය කරමු.





No comments:

Post a Comment