Sunday, October 24, 2021

පාසල් අරින්න පුළුවන් නම් විශ්වවිද්‍යාල බැරි ඇයි?



පාසල් අරින්න පුළුවන් නම් විශ්වවිද්‍යාල බැරි ඇයි? 

වසංගත තත්ත්වය හමුවේ වසා දැමූ විශ්වවිද්‍යාල පද්ධතිය දැන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අඩපණ වී ඇති බවත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය අර්බූදයට ගෙිස් ඇති බවත් එනිසා වහාම විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතු බවත් කියමින් අ.වි.ශි.බ.ම අද අධ්‍යාපන අමාත්‍යවරයාට ලිපියක් යොමු කරන ලදී. එයට අමතරව මාධ්‍ය හමුවක් ද කැඳවූ අතර එහිදී අ.වි.ශි.බම වෙනුවෙන් අදහස් දැක්වූ ගල්වැව  සිරිධම්ම හිමියන් ප්‍රකාශ කළේ පාසල් හදිසියේ ආරම්භ කිරීමත්, විශ්වවිද්‍යාල තවදුරටත් වසා තැබීමත් ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත සිදුකරන බවයි. අ.වි.ශි.බ.ම අමාත්‍යවරයාට යොමු කළ ලිපිය පහත දැක්වේ.

-----------------------------------------------------------------------------

වසර දෙකක් තිස්සේ විශ්වවිද්‍යාල වසා දමා තිබීම සම්බන්ධවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල හා පාසල් පද්ධතිය වසා දමා වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. නමුත් මේ වන තුරුත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව රජයට කිසිඳු වැඩපිළිවෙළක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

මේ අතර එළඹෙන 25 දින සිට පාසල් පද්ධතිය ආරම්භ කිරීමට ආණ්ඩුව කඩිමුඩියේ තීරණය කරනු ලැබීය. පාසල් හදිසියේ ආරම්භ කිරීම හා විශ්වවිද්‍යාල විවෘත නොකිරීම යන එකිනෙකට පරස්පර කාරණා දෙකම සිදු වන්නේ ආණ්ඩුවේ දේශපාලන උවමනාවන් මත වන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි.

මෙරට විශ්වවිද්‍යාලවල සිටින සමස්ත ශිෂ්‍ය ප්‍රමාණය එක් ලක්ෂ හැටදහසක් පමණය. ආචාර්යවරුන් ප්‍රමාණය 6400 කි. අනධ්‍යයන කාර්යමණ්ඩලය 15000 කි. ශිෂ්‍යයින් සියලු දෙනා අවුරුදු 18 ට වැඩි වැඩිහිටි ශිෂ්‍යයින්ය. අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලවලට දැනටමත් එන්නත්කරණය සිදුකර ඇත. ශිෂ්‍ය ප්‍රජාවෙන් කොටසක් මේ වන විටත් එන්නත්කරණයට ලක් කර ඇත. බහුතරයක් සිසුන් වෙසෙන්නේ නේවාසිකාගාර තුළය. මෙවැනි තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාල විවෘත කිරීම එතරම් සංකීර්ණ කටයුත්තක් නොවේ. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් විශ්වවිද්‍යාල විවෘත කිරීම පිළිබඳව සිදුකරන්නේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම පමණි.

මේ පිළිබඳව උපකුලපතිවරුන් ඇතුළු පරිපාලන බලධාරීන්ගේ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධව වගකිව යුතු බොහෝ පාර්ශවවල නිහැඬියාව මවිතය දනවන සුළුය.

මෙරට පාසල් ශිෂ්‍යයින් ලක්ෂ 40 ක පමණ ප්‍රමාණයක් සිටී. පාසල් ආරම්භ කිරීමත් සමඟ සිසුන් හා දෙමාපියන් දෛනිකව නිවෙස්වල සිට පාසල දක්වා සංචරණය කළ යුතුය. පොදු ප්‍රවාහන ක්‍රම භාවිතා කරමින් පිටත සමාජයත් සමඟ ගැටෙමින් කටයුතු කළ යුතුය. එහෙයින් වසංගත තත්ත්වය තුළ පාසල් ආරම්භ කොට පවත්වාගෙන යාම විශ්වවිද්‍යාලවලට වඩා අතිශයින් සංකීර්ණ බව බැලූ බැල්මටම පැහැදිලි කරුණකි. එසේ තිබියදී ආණ්ඩුවට ප්‍රාථමික අංශවල සිසුන් කැඳවා පාසල් ආරම්භ කිරීම කළ හැකිවීමටත් වැඩිහිටි සිසුන් වෙසෙන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට නොහැකිවීමටත් බලපෑ විද්‍යාත්මක පදනම කුමක්ද යන්න ප්‍රශ්න කළ යුතුය. ආණ්ඩුවට ඇත්තේ පාසල් ආරම්භ කර බිඳවැටුණු අධ්‍යාපන කටයුතු යථාවත් කිරීමේ අවශ්‍යතාව නොව වැටුප් විශමතා ඇතුළු ගැටලු විසඳන ලෙස බලකරමින් මේ වන විටත් ගුරු විදුහල්පතිවරුන් ගෙන යන අඛණ්ඩ අරගලය අර්බූදයට යැවීමේ දේශපාලන අවශ්‍යතාවයි. මේ කරමින් සිටින්නේ එම දේශපාලන උවමනාව මත නින්දා සහගත ලෙස සිසුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් බිල්ලට තැබීමයි.

පාසල් ආරම්භ කිරීමට සාපේක්ෂව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පහසු තත්ත්වයක පවතින බව ඉතා පැහැදිලිය. නමුත් වසර දෙකක් තිස්සේ ඊට අදාළ වැඩපිළිවෙළක් සකස් කරගැනීමට නොහැකිවීම බරපතල තත්ත්වයකි. වරින් වර විශ්වවිද්‍යාල ආරම්භ කරන බව මාධ්‍යවලට ප්‍රකාශ කළ ද ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීම, පහසුකම් පුළුල් කිරීම ආදි කිසිවක් විශ්වවිද්‍යාල මට්ටමින් සිදු වන්නේ නැත. එන්නත්කරණය සම්පුර්ණ කිරීම, එන්නත්කරණය නොකළ සිසුන් දැනුවත් කිරීම ආදිය ක්‍රමවත්ව සිදුවන්නේ ද යන්න පවා බරපතල ගැටලුවකි. විශ්වවිද්‍යාලය තුළ සිටින ප්‍රධාන පාර්ශවයන් වන සිසුන්, ආචාර්යවරුන් හා අනධ්‍යන කාර්යමණ්ඩල සමඟ විශ්වවිද්‍යාල විවෘත කිරීම හා ඒ සම්බන්ධව පවතින ගැටලු පිළිබඳව මේ වන තෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හෝ වගකිවයුතු කිසිඳු පාර්ශවයක් විධිමත් සාකච්ඡාවක් සිදු කර නොමැත.

මෙයින් පැහැදිලි වන ප්‍රධානතම කාරණය වන්නේ හදිසියේ පාසල් විවෘත කිරීම සේම, විශ්වවිද්‍යාල විවෘත නොකිරීම යන කාරණා දෙකම සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත බවයි. එය පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් විශ්වවිද්‍යාල පරිපාලනයන් හා අනෙකුත් පාර්ශවයන් මේ සම්බන්ධයෙන් නිද්‍රාශීලි, ඇල්මැරුණු පිළිවෙතක් අනුගමනය කිරීම කණගාටුවට කාරණයකි.

අධ්‍යාපනඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරු සංගම් හා එක්ව සිදු කළ සාකච්ඡාවකින් පසු සකස් කළ පාසල් හා විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදාළ විධිමත් වැඩපිළිවෙළක් හිටපු අධ්‍යාපන ඇමතිවරයාට, ඔබතුමන්ට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට භාරදීමට මින් පෙර ද අප කටයුතු කළෙමු. නමුත් ඒ පිළිබඳව අවදානය යොමු වූ බවක් හෝ එයට වඩා යහපත් වැඩපිළිවෙළක් රජය පාර්ශවයෙන් ඉදිරිපත් වන බවක් හෝ මෙතෙක් පෙනෙන්නට නැත. මෙමගින් සිදු වී ඇත්තේ වසර දෙකකට ආසන්න කාලයක් පුරා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී තිබීමයි. මාර්ගගත (online) උගුලක පටැලවූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තවදුරටත් ‘විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්’ වන්නේදැ’යි ප්‍රශ්න කළ යුතු මට්ටමටම මේ වන විට අර්බූදයට ගොස් ඇත. එහෙයින් තවදුරටත් ව්‍යාජ නින්දක ගැලී නොසිට සියලු සිසුන් සඳහා විශ්වවිද්‍යාල කඩිනමින් ආරම්භ කළ යුතු බවත්, විශ්වවිද්‍යාලවල සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කර සිටිමු!




No comments:

Post a Comment